බංකොලොත් රටේ අන්තර්වාර ආණ්ඩුවක අගමැති පොරය…

හිටපු අග්‍රාමාත්‍ය  රනිල් වික්‍රමසිංහ සහ ජනාධිපතිවරයා අතර නව ආණ්ඩුවේ  අගමැති ධුරය සඳහා සාකච්ඡා ආරම්භ කිරීමත් සමග එම ධුරය වෙනුවෙන් බල පොරයක් නිර්මාණය වී තිබේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ පක්ෂ 11ක ස්වාධීන කණ්ඩායම අපේක්ෂා කළ ආකාරයට සජිත් ප්‍රේමදාස වගකීම භාර නොගැනීමේ අවස්ථාව උපයෝගී කරගෙන රනිල් වික්‍රමසිංහ  පොදුජන පෙරමුණු මන්ත්‍රීවරු බහුතරයක්, සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන්ගෙන් වැඩිමනත් කොටසක්, සහ ස්වාධීන වූ මන්ත්‍රී කණ්ඩායමේ සුලු පිරිසක් සමග නව රජය පිහිටුවීම සඳහා  අවස්ථාව ලබාගෙන ඇත.

මේ ප්‍රවේශයට දැඩිව විරෝධය පලකරමින් සිටින්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ  සභාපති මෛත්‍රීපාල සිරිසේන සහ මහලේකම් දයාසිරි ජයසේකරය.  ඔවුන්ගේ මැදිහත් වීමෙන් ඊයේ රාත්‍රියේම අගමැති ධුරය සඳහා විජේදාස රාපක්ෂ, නිමල් සිරිපාල ද සිල්වා සහ ඩලස් අලහප්පෙරුමගේ නම් යෝජනා වූයේය.  එහෙත් ඒ නම් ජනාධිපතිවරයා වෙත නොයැවූ බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කීවේය.

මේ අතර කරූ ජයසූරිය අගමැති ධුරයට පත් කිරීම සඳහා ජාතික එකඟතාවයක් ඇතිකිරීමට මැදිහත්වුණු සර්ව ආගමික නායකයින්ගේ ඉල්ලීම මත තවත් කණ්ඩායමක් කටයුතු කරමින් ඇත.


මේ අතර සරත් ෆොන්සේකා ඊයේ දහවල් ජනාධිපති ගෝඨාභය රාපක්ෂ හමුවී අමැති ධුරය සම්බන්ධව දීරඝ සාකච්ඡාවක් පවත්වා ඇත්තේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස දිගින් දිගටම වගකීම භාර ගැනීම කරහරින පසුබිමකය.  මේ හමුවත් ඊයේ සිදුවූ මන්ත්‍රී කණ්ඩායමේ බෙදීමට පාදක වුන සමගි ජන බලවේගය තුළ අභ්‍යන්තර අර්බුදය තීව්‍ර කිරිමට හේතු වී තිබේ.

කෙසේ වෙතත් ෆොන්සේකාගේ මෙම හමුව මාධ්‍යවල පලවීමත් සමග ඔහු සිය ෆේස් බුක් ගිනුමේ මෙසේ සටහන් කර තිබිණි.

”අසත්‍ය ප්‍රචාර හරහා ජනතාව නොමඟ යැවීමේ උත්සාහය තරයේ හෙලා දකිමි. ගෝටාභය රාජපක්ෂ ජනාධිපති ලෙස සිටින රජයක කිසිදු තනතුරක් ලබා ගැනීම එක හෙලා ප්‍රතික්ෂේප කරමි. සමස්ථ ශ්‍රීලාංකීය ජාතියම සාමකාමී අවිහිංසාවාදී පුරවැසි අරගලයක් හරහා ඉල්ලා සිටින ප්‍රධාන ඉල්ලීම් සමග මමත් කොන්දේසි විරහිතව සිටගනිමි. ගාලුමුවදොර විරෝධතා භූමියේ සිට රට වෙනුවෙන්, ජනතාව වෙනුවෙන්, දැයේ දුවාදරුවන්ගේ අනාගතය වෙනුවෙන් හඬ නගන ජනතාවගේ ඉල්ලීම් පිලිබදව අතිශයින් සංවේදී වෙමි. ආරම්භයේ සිටම අරගලයේ නියුතු අභීත සටන්කාමී පුරවැසි දූදරුවන්ට හදවතින්ම ආශිර්වාද කල මම කිසිවිටෙකත් ගාලුමුවදොර අරගලකරුවන් සමග සාකච්ඡාවකින් තොරව රාජපක්ශලාගේ අර්බුදය විසදීමේ කොටස්කරුවකු නොවෙමි”

ෆොන්සේකා ජනාධිපති හමුවී පැමිණ මෙසේ කියා ඇත. වාර්තා වන පරිදි එක් එක් පාර්ශව සංක්‍රාන්ති ආණ්ඩුවේ අගමැතිකම වෙනුවෙන් පුද්ගලයින් ලෙස පොරකද්දී රනිල් වික්‍රමසිංහ තමන්ට කැමති පිරිස සම්බන්ධව ඉලක්කම තහවුරු කරගැනීමට කටයුතු කර ඇත.

වාර්තාවන පරිදි රනිල් වික්‍රමසිංහ සමග ආණ්ඩුවක් පිහිටුවීමට සූදානම් නැති බව ටී.එන්.ඒ  ප්‍රකාශ කළේය.  ශාන්ක්කියන් රාසමාණික්කම් ඇතුළු පිරිසක් රනිල් සමග එක්වීමට දැඩිව විරෝධය  පල කර සිටිති. එහෙත් ටී.එන්.ඒ කණ්ඩායමක් රනිල් සමග එක් වීමට සූදානමින් ඇතැයි දේශපාලන ආරංචි මාර්ග කියය.

සමගි ජන බලවේගය සමග සිටින සුලු පක්ෂ රනිල් වික්‍රමසිංහ සමග මෙම අන්තර්වාර පාලන ආණ්ඩුවට එක්වීමට  තවම එකඟතාවය පල කර නැතැයි දැනගන්නට ඇත.

මේ අතර අර්බුදයට විසඳුමක් ලෙස අන්තර් විශ්විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය විසින් ඉදිරිපත් කර ඇති යෝජනාවලිය පිළිබඳ සංවාදය මේ වනවිට කොළඹ මහජන පුස්තකාල ශාලාවේ ඇරඹී ඇත. ඒ සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසට ඇරයුම් ලැබී ඇත. රනිල් සමග සන්ධානගත වීමට එරෙහි වූ දෙමළ ජාතික සන්ධානයේ ශානක්කියන් රාසමානික්කම්,  මාධ්‍ය ප්‍රකාශක එම්.සුමන්තිරන් සජිත් ප්‍රේමදාස සමග  එම අවස්ථාවට එක් වී සිටිති.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


කෙසේ වෙතත්   බහුතරයක් සමග අන්තර්වාර රජයක් පිහිටුවීමට හිටපු අග්‍රාමාත්‍ය  රනිල් වික්‍රමසිංහ කටයුතු කටයුතු කරනු ඇති බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග කියයි.

Exit mobile version