පොහොට්ටු  නිළියට හම්බන්තොට දී “සිංහ සැපක්“!

ආචාර ධර්මවලට මෙන්ම ජාතික සත්ත්වෝද්‍යාන පනතට පටහැනි ක්‍රියාකලාපයන් හේතුවෙන් සත්ත්ව ලෝලීන් අතර මතභේදාත්මක තත්ත්වයට පත්ව සිටින ජාතික සත්ත්වෝද්‍යන දෙපාර්තමේන්තුවේ නව අධ්‍යක්ෂ ජනරාල්වරිය ජනප්‍රිය නිළියක ඇතුලු    සිය පවුලේ සාමාජිකයන්ට හම්බන්තොට රිදියගම සෆාරි උද්‍යානයේ අලුතින් ඉපදුණු සිංහ පැටවකු සුරතල් කිරීමට ලබා දීම සම්බන්ධයෙන් මේ වනවිට සත්ත්ව ලෝලීන් අතර දැඩි විරෝධයක් එල්ල වී තිබේ.

මෙම නිළියට සහ පවුලේ සාමාජිකයන්ට‍ මුව ආවරණ පවා ඉවත් කරමින් දුර්ලභ උපතක් වන මෙම සිංහ පැටවා ආසන්නයට ගොස් ස්පර්ශ කිරීමට අවස්ථාව ලැබී ඇති අතර අවම තරමින් කොවිඩ් වෛරසයෙන් මෙම පැටවා ආරක්ෂා කිරීම පිළිබඳවවත් කිසිදු අවධානයක් යොමු කොට නැති බවට චෝදනා එල්ලවී ඇත.

මීට කලින්ද සත්ත්වෝද්‍යානයේ සිංහයන් දෙදෙනකුටම කොවිඩ් වෛරසය ආසාදනය වීම නිසා දැඩි අසාධ්‍ය තත්ත්වයක් පැවති පසුබිමක් තුළ මෙවැනි ක්‍රියාකලාපයන් සිදු නොවිය යුතු බවට ඔවුහු අවධාරණය කරති.


පසුගිය මැතිවරණවලදී රජයේ ප්‍රධානතම පක්ෂය වන පොදුජන පෙරමුණට සහය පළ කරමින් ක්‍රියාකාරීව දේශපාලනය කළ රංගන ශිල්පිණියක වන ඕෂධී හේවාමද්දුම තම පවුලේ සාමාජිකයන් මෙසේ එම අවස්ථාව ලබාගෙන ඇති අතර ඇය සිය  ෆේස්බුක් සමාජ  ජාලාවේ රිදියගම සෆාරි උද්‍යානයේ අලුත ඉපදුණු සිහපැටවුන් ස්පර්ශ කරන ඡායාරූපයක් ප්‍රසිද්ධ කොට තිබුණි.  ( මේ වනවිට එම ඡායාරූප ඇය සිය ගිනුමෙන් ඉවත් කරගෙන ඇත)

ඇයට මේ අවස්ථාව උදා කර දී ඇත්තේ වර්තමාන අධ්‍යක්ෂ ජනරාල්වරියගේ අණින් බව සත්ත්වෝද්‍යාන දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි.

නව අධ්‍යක්ෂ ජනරාල්වරිය ලෙස පසුගියදා පත්වීම් ලද ෂර්මිලා රාජපක්ෂ ගේ සහය ඇතිව මෙම සිදුවීම සිදුව ඇති බවට මෙම සත්ත්ව ලෝලීන් විරෝධය පළ කරන අතර මෙම අධ්‍යක්ෂ ජනරාල්වරිය පසුගියදා පින්නවල උපත ලද නිවුන් අලි පැටවුන් සම්බන්ධයෙන්ද සදාචාර සම්පන්න නොවන අයුරින් ක්‍රියා කිරීම පිළිබඳව ලෝකයේම මාධ්‍ය දැඩි විවේචනයක් එල්ල කළේය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ඇය සත්ත්වෝද්‍යාන සේවක කණ්ඩායම් සහ වෘත්තීය සමිති සමඟද මේ වනවිට දැඩි මතභේදාත්මක තත්ත්වයක් නිර්මාණය කරගෙන තිබේ.

 

Exit mobile version