පොහොට්ටුව කතා කරයි… කරුණා පොහොට්ටුවේ නොවේ යැයි මහලේකම් කියයි

ඇමතිකමත් ශ්‍රී.ල.නි.ප සභාපතිකමත් දුන්නේ ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවාහයට පැමිණි නිසා - පොදුජන පෙරමුණේ මහලේකම් සාගර කාරයවසම්

හමුදා භටයන් 5000ක් තමා විසින් ඝාතනය කළ බවට කරුණා අම්මාන් කළ ප්‍රකාශය ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ ලෙස තරයේ හෙළා දකින බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් නීතිඥ සාගර කාරියවසම් ලංකාසරට පැවසීය.

කරුණා අම්මාන් ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ යටතේ මෙවර මැතිවරණයට තරග වදින අපේක්ෂකයෙක් නොවන බවත්, ඔහු අම්පාර දිස්ත්‍රික්කයෙන් මෙවර තරග වදින්නේ පොදුජන පෙරමුණට එරෙහි වෙනත් දේශපාලන පක්ෂයකින් බවත් සාගර කාරියවසම් පෙන්වා දුන්නේය. එවන් පක්ෂයක පුද්ගලයෙක් කරන ප්‍රකාශයක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට භාරගන්නේ කෙසේදැයි ඔහු ප්‍රශ්න කළේය.

කරුණා අම්මාන්ගේ මෙම ප්‍රකාශය පදනම් කරගෙන වැරදි චිත්‍රයක් මැවීම සඳහා සමාජ මාධ්‍ය ජාලා හා විපක්ෂය උත්සාහ කරමින් සිටින බව ඔහු පැවසීය.


එහෙත් කරුණා අම්මාන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උපසභාපති ලෙසත්, පසුගිය රජයේ අමාත්‍යවරයෙක් ලෙසත් කටයුතු කළා නොවේදැයි ලංකාසර කළ විමසීමට පිළිතුරු දුන් මහලේකම්වරයා  කීවේ කරුණා අම්මාන් නැගෙනහිර පලාත් එල්.ටී.ටී.ඊ සන්නද්ධ නායකයාව සිට  ඉන් ඉවත් වී  යුද්ධය නිමා කිරීම සඳහා යුද හමුදාවට විශාල සේවයක් ඉටු කළ බවය.

අනතුරුව ඔහු රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිගෙන රටේ ඒකීය භාවය පිළිගෙන ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවාහයට එක් වූ බවය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උප සභාපතිකම හා අමාත්‍ය ධූරයක් ඔහුට පිරිනමන්නේ ඒ නිසා බවත් එම පරිවර්තනය ආඩම්බර විය යුතු එකක් බවත් ඔහු කීවේය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


එහෙත් මේ ප්‍රකාශය සම්බන්ධව රටේ නීතිය අනුව කටයුතු කළ යුතු නොවේදැයි අප කළ විමසීමේ දී මහලේකම් වරයා කීවේ තමන්ගේ පක්ෂයේ සාමාජිකයෙක් නොවන පුද්ගලයෙකුට විනය පරීක්ෂණ තැබීමේ හැකියාවක් තමන්ට නොවන බවය.

Exit mobile version