සමගි ජන බලවේගයෙන් සහාය ලබාදෙන බව පැවසූ මන්ත්‍රීවරුන් 25 දෙනා ජූලි මස 15 වැනි දිනට පෙර එක් කර ගන්නා ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනාධිපති රනිල් වික්‍රමසිංහට දෙවන වරටත් දැනුම් දුන් බව පොහොට්ටුවේ අභ්‍යන්තර ආරංචි මාර්ග තහවුරු කරයි.
එසේ විපක්ෂ මන්ත්‍රීවරු 25දෙනා සම්බන්ධ කර ගැනීමට නොහැකි වුවොත් පොදු ජන පෙරමුණෙන් වෙනම ජනාධිපති අපේක්ෂකයෙක් ඉදිරිපත් කරන බවද පසුගිය සතියේ පැති සාකච්ඡාවකදී අවධාරණය කර ඇත.
මේ අතර පොදු ජන පෙරමුණෙන් ජනාධිපති අපේක්ෂකත්වය බලාපොරොත්තුවෙන් සිටින කිහිප දෙනෙකු සමග එම පෙරමුණ පසුගිය සතියේදී සාකච්ඡා ආරම්භ කර තිබේ. තවද පොහොට්ටුවේ බිම්මට්ටමින් පොදුජන පෙරමුණේ අපේක්ෂකයකු ඉදිරිපත් කරන ලෙසට දැඩි බලපෑම් එල්ල වී ඇත.
මේ අතර ඊයේ ප්‍රසිද්ධ මාධ්‍යය ඉදිරියේ පෙනී සිටි හිටපු රුසියානු තානාපති මෙන්ම මහින්ද රාජපක්ෂ ගේ ඥාති සොයුරු උදයංගා වීරතුංග පැවසුවේ රනිල් වික්‍රමසිංහට පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකකම නොලැබෙන බව කැට දමා ප්‍රකාශ කරන බවය.
පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකයා ධම්මික පෙරේරා බවත් ඔහුට අපේක්ෂකත්වය ලබා දෙන්නේ අගමැතිවරයා ලෙස නාමල් රාජපක්ෂ පත් කිරීමේ පක්ෂ එකඟතාවය මත බවත් පැවසූ උදයංගා වීරතුංග ජූලි දෙවැනි සතියේ දී මහින්ද රාජපක්ෂ විසින් ඒ බව නිල වශයෙන් ප්‍රකාශයට පත් කරනු ඇති බවය.