පොලිසියට හෝ එම්.ඕ.එච් ට නොදන්වා මිනුවන්ගොඩ පොලිස්වසමක් හුදකලා කරලා…

ප්‍රදේශයේ එම්.ඕ.එච් සහ පොලිසිය හුදකලා කිරීම ගැන දැනගෙන තිබෙන්නෙ මාධ්‍යයෙන්

කීර්ති ප්‍රනාන්දු –

වහාම ක්‍රියාත්මක වන පරිදි  මිනුවන්ගොඩ පොලිස් වසමේ නැගෙනහිර ගල්ඔලුව සහ බටහිර ගල්ඔලුව ග්‍රාම නිලධාරි වසම හුදෙකලා   පියවර ගත් බව යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා අද දහවල් ප්‍රකාශ කළ බව මාධ්‍යවල පල වුවද ඒ සම්බන්ධව සවස 5 වනතුරු මිනුවන්ගොඩ පොලිසිය හෝ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය නිල වශයෙන් දැනුවත් කර නොමැති බව ප්‍රාදේශීය සෞඛ්‍ය ආරංචි මාර්ග තහවුරු කරයි.

මිනුවන්ගොඩ පොලිසිය හා ප්‍රාදේශීය සෞඛ්‍ය අංශ පැවසුවේ තමන් මේ තොරතුර දැනගත්තේ මාධ්‍යයෙන් බවය.

මිනුවන්ගොඩ ගල්ඔළුව ප්‍රදේශයේ දැනට කොවිඩ් ආසාදිතයන් 30ට වඩා වැඩි පිරිසක් සොයාගෙන ඇති බවත්, 150ක් පමණ නිරෝධායනය කර ඇති බවත් පවසන සෞඛ්‍යය අංශ මේ ප්‍රදේශය හුදකලා කරන ලෙස පසුගිය 12 දා සිට වගකිවය යුත්තන්ට දන්වමින් සිටි බව පැවසීය.


ඊට ප්‍රධානම හේතුව වී තිබුණේ මේ ප්‍රදේශයේ කොවිඩ් ආසාදිතයන් සිය ආශ්‍රිතයන් පිලිබඳව හෙළි නොකිරීමත්, ආශ්‍රිතයන් පී.සී.ආර් පරීක්ෂණ ප්‍රතික්ෂේප කරමින් මගහැරීමත් නිසා තත්වය පාලනය කිරීමේ අපහසුව මතු වූ නිසා බව ඔවුහු පෙන්වා දුන්හ.

ගල්ඔළුව ප්‍රදේශයේ වැඩි පිරිසක් මිනුවන්ගොඩ නගරයේ විවිධ රැකියා කරන බැවින් මිනුවන්ගොඩ නගරයට වැඩි කොවිඩ් අවදානමක් තිබිණි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


එහෙත් එක්වරම මේ හුදකලා කිරීම ප්‍රකාශ කර ඇත්තේ තමන්ව නිසි ලෙස දැනුවත්කර නොවීම ගැටලු සහගත තත්වයක් ඇති කර තිබෙන බව සෞඛ්‍ය අංශ පැවසුවේය.

Exit mobile version