පෙහොට්ටුවෙන් බේරෙන්න ජාතික විධායක සභාව ගේන්න –  යූ.එන්.පී හිතවාදීන්ගෙන් ජනපති ට යෝජනාවක්

Ranil_Wickremesinghe_

ජනාධිපති රනිල් වික්‍රමසිංහ ට රාජපක්ෂවරුන් ඇතුළු පොහොට්ටු ප්‍රබලයින්ගෙන් එල්ල වන දැඩි බලපෑම අවම කොට රටේ ජනතාව සහ ලෝකය පිළිගන්නා පාලන තන්ත්‍රයක් සකස් කර ගැනීම සඳහා  යෝජිත ජාතික විධායක සභාව කඩිනමින් සක්‍රිය කළ යුතු බවට ජනාධිපතිවරයාට  සහය දක්වන විද්වතුන්  මේ වනවිට යෝජනා  කර ඇති බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

යෝජිත සර්ව පාක්ෂිත ආණ්ඩුව යථාර්ථයක් බවට පත්වීමේ ඉඩකඩ මේ වනවිට  ඇහිරී පැවතීමත් ඒත් සමඟ රජයේ වැඩිම පාර්ලිමේන්තු බලය සහිත පොදු ජන පෙරමුණ සැලසුම් කළ වැඩපිළිවෙළට පටහැණිව අනවශ්‍ය බලපෑම් එල්ල කිරීමට පටන් ගැනීමත් හේතුවෙන් මෙම ජාතික විධායක සභාව ඉක්මන් කළ යුතු බවට ජනාධිපතිවරයා වෙත යෝජනා කර තිබේ.

මේ තත්ත්වයට ආසන්නතම බලපෑ හේතු ලෙස සඳහන් වන්නේ පසුගිය සතියේදී රාජ්‍ය ඇමතිවරුන් 37 දෙනකු පත් කිරීමට සිදුවීම සහ මෙම සතියේදී තවත් කැබිනට් අමාත්‍යවරුන් පත් කිරීමට කටයුතු කර ලෙස එම පක්ෂයේ ප්‍රබලයන්ගෙන් ජනාධිපතිවරයා වෙත බලපෑම් එල්ල වීමය.

යළිත් කැබිනට් මණ්ඩලයට රාපක්ෂ පවුලේ සාමාජිකයන් පත් කරන ලෙස ඉල්ලීම් කර ඇති අතර ඒ  අනුව නාමල් රාජපක්ෂට යළිත් අමාත්‍ය ධුරයක් ලබා දෙන ලෙස පොදුජන පෙරමුණෙ නියමුවා වන බැසිල් රාජපක්ෂ   ජනාධිපතිවරයාගෙන් ඉල්ලා ඇති බව සඳහන් වේ. කෙසේ වුවද මෙතෙක් එම ඇමති ධුරය නාමල් රාජපක්ෂ  ට ලබා දෙන්නේද යන තීරණය ගෙන නැති අතර ඔහුට අමතරව මහින්දානන්ද අලුත්ගමගේ රෝහිත අබේගුණවර්ධන සහ ජොන්ස්ටන් ප්‍රනාන්දු යන මන්ත්‍රිවරුන්ටද කැබිනට් අමාත්‍ය තනතුරු දිය යුතු බවට යෝජනා වී තිබේ.


රාජ්‍ය අමාත්‍යවරුන් පවතින ආර්ථික අර්බුදය නොසලකා පෙර පැවති වරප්‍රසාද ඉල්ලා ඇති අතර මේ තත්ත්වය තුළ ජනාධිපතිවරයාට රාජ්‍ය වියදම් පිළිබඳව චක්‍රලේඛයක් අලුතින් නිකුත් කිරීමට ද සිදුවිය.

එසේ වුවද නව චක්‍රලේඛයෙන්ද මෙම නව රාජ්‍ය අමාත්‍යවරුන් සඳහා වැයවන  අධික පිරිවැයට ලොකු බලපෑමක් සිදුව නැති බව සඳහන් වේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මෙවැනි තත්ත්ව හමුවේ ජාතික විධායක සභාව ඉක්මනින් පත් කිරීම පිළිබඳව අවධානය යොමුව ඇතත් විපක්ෂය මේ සම්බන්ධයෙන් සුබවාදී ප්‍රතිචාරයක් මෙතෙක් දක්වා නැති බවද දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

Exit mobile version