පුනරුත්ථාපි එල්.ටී.ටී.ඊ සාමාජිකයන්ගේ ජීවිත කළමනාකරණය කරන්න නව කාර්යාලයක්…

දිනසේන රතුගමගේ –

පුනරුත්ථාපනය වූ එල්.ටී.ටී.ඊ.  සාමාජිකයින්ගේ සුබ  සාධනය වෙනුවෙන් කටයුතු කිරීම සඳහා නව කාර්යාලයක්  9 දා  වවුනියාවේදී පිහිටවනු ලැබීය.

වන්නි දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සහ ටෙලෝ සංවිධානයේ නායක සෙල්වම් අඩෙයිකලනාදන්  විසින් එම කාර්යාලය විවෘත කරණු ලැබීය.

යුද්ධයට සම්බන්ධ වූ එල්.ටී.ටී.ඊ සාමාජිකයින්ගෙන් 12000 ක් පමණ රජයේ පුනරුත්ථාපන වැඩ සටහනට ඇතුළත් කොට  ඔවුන්ව පුනරුත්ථාපනය කරනු ලැබුවත් ඔවුන්ගේ ජීවිකාව ගෙන යාම සඳහා ස්ථිර වැඩ පිළිවෙලක් සකස් නොවීම නිසා ඔවුන් සමාජයට නිරාවරණය වී ඇත්තේ රැකියා විරහිත පිරිසක් වශයෙන් බව සෙල්වම් අඩෙයිකලනාදන් මන්ත්‍රීවරයා මෙහිදී පැවසීය.

අවි පුහුණුවක් ලත් පිරිසක් එසේ සමාජයට නිරාවරණය වීම අයහපත් ප්‍රතිපල ගෙන දෙන කාරණයක් බැවින් මේ පිරිසට වහාම රැකියා අවස්ථා ලබා දීමට විවිධ පුද්ගලයින්ගෙන් සහය ලබා ගැනීම සඳහා මෙම කාර්යාලය පිහිටුවා තිබේ.


පුනරුත්ථාපනය වූ එල්.ටී.ටී.ඊ සාමාජිකයින් පුනරුත්ථාපන කදවුරේදී පෙදරේරු, වඩු, රූපලාවණ්‍ය වැනි එක් විෂයක් යටතේ වෘත්තීය පුහුණුවක් හදාරා ඇත්නම් ඔවුන්ට ඒ සඳහා යොදා ගත හැකි මෙවලම් කට්ටලයක්   නිදහස ලැබුණු දා රජයෙන් පිරිනමා තිබුණි.

නමුත් මේ වන විට ඔවුන් පුනරුත්ථපනය වී වසර ගණනාවක් ගත වී ඇති නිසා එම මෙවලම් විනාශ වී ගොස් තිබේ.

මේ පිරිසට විශේෂ බැංකු ණය ප්‍රදානය කිරීමට රජය වැඩ පිළිවෙළක් සකසන බවට පොරොන්දු වූවත් එම ණය සහනය බැංකු හරහා සාමාන්‍ය ණය ක්‍රමයක් වශයෙන් ලබා දීම නිසා ඔවුන්ට ඇපකරුවන් සොයා ගැනීමට අසීරු වීම හේතුවෙන් ණය මුදල් ලබා ගැනීමටද නොහැකි වී ඇත.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


දෙමළ ඩයස්පෝරාව හා දේශීය ව්‍යාපාරිකයින් මේ පිරිසට ජීවත් වීම සදහා උදව් උපකාර කරණ අතර එම උදව් ක්‍රමවත්ව ඔවුන් වෙත ලබා දීමට   මෙම  නව කාර්යාලය ආරම්භ කොට තිබේ.

Exit mobile version