පුද්ගලික ගේම් නොගසා දැන්වත් වසංගතයේ ඇත්තට මුහුණ දෙන හැටි ගැන හිතන්න…

අපි කොවිඩ් මරණ පනහ හැට ගනිනවා.... බෝ නොවන රෝගවලින් සිය ගණන් ගෙවල්වල මැරෙනවා... සෞඛ්‍ය වෘත්තිකයෝ පිරිසක් බලධාරීනට කියති...

ජාතික රෝහල ඇතුළු රටේ සෞඛ්‍ය අංශයේ පැවැත්ම තහවුරු කරන ප්‍රධාන රෝහල් පද්ධතිය කොවිඩි වසංගතය නිසා බිඳ හෙළන්නේ නැතිව දැන්වත් ඇඳන් දහසක් සහිත නෙවිල් ප්‍රනාන්දු රෝහල පූර්ණ කොවිඩ් රෝහලක් බවට පත් කරන ලෙසත්, සෑම දිස්ත්‍රික්කයක් සඳහාම ඇඳන් 500ක විශේෂිත කොවිඩ් ප්‍රතිකාර රොහලක් සහ අතරමැදි  ප්‍රතිකාර මධ්‍යස්ථාන ප්‍රමාණයක් වෙන් කරන ලෙසත් සෞඛ්‍ය අංශයේ වෘත්තිකයන් පිරිසක් සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් තීරණාත්මක ඉල්ලීමක් කර තිබේ.

තම තමන්ගේ තනතුරු හා ලාභ අපෙක්ෂාවෙන් ඇත්ත තත්වය වසන් කර සෞඛ්‍ය අමාත්‍යාංශ බලධාරීන් විසින් මෙතෙක් ගත් අගතිගාමී තීන්දු නිසා අද ජාතික රෝහල ඇතුළු ප්‍රධාන රෝහල් පද්ධතිය පත්වී ඇති ඛේදජනක තත්වය පිළිබඳ එම වෘත්තිකයෝ කරුණු දක්වති.

මේ වනවිට කොළඹ ජාතික රෝහලේ පිහිටුවා ඇති කොවිඩ් වාට්ටු 09ම රෝගීන්ගෙන් පිරී ඇති බවත්, ඇඳන් යට පවා රෝගීන් දමා ඇති බවත්, දින පතා වෛද්‍ය වාට්ටුවලින් වාර්තාවන කොවිඩ් රෝගීන් යොමු කිරීමට තැනන් නැති බැවින් එම වාට්ටු තුළම තිර රෙදි වලින් වටකළ ඉඩක රෝගීන් පැදුරු මත නිදිකරවීමට සිදුවීම බලාපොරොත්තුවනවාට වඩා මාරක අනතුරක් ඇති කරන බවත් ඔවුහු පෙන්වා දෙති.

“ මේ වසංගතය සමඟ කටයුතු කිරීම සඳහා අපට ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයේ විශේෂිත කොවිඩ් ප්‍රතිකාර රෝහල් 3 ක් පමණයි. අයි.ඩී.එච්. රෝහලේ ඇඳන් 180ක්, මුල්ලේරියාව රෝහලේ ඇඳන් 120ක්, සහ හෝමාගම රෝහලේ ඇඳන් 180ක් සහිතව ඇඳන් 480ක් විතරයි අපට තිබෙන්නෙ. “

“මේ තත්වය මුල සිටම දැකපු ප්‍රායෝගිකව මේ සම්බන්ධව කටයුතු කිරීම සම්බන්ධ අදහසක් තිබුණු වෛද්‍ය වෘත්තිකයින් බොහෝ දෙනෙක්ක ඇඳන් 1000ක් සහිත නෙවිල් ප්‍රනාන්දු රෝහල පූර්ණ කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයක් ලෙස පරිවර්තනය කරන ලෙස සෞඛ්‍ය ඇමතිනිය ඇතුලු සියලු බලධාරීන්ගෙන් ඉල්ලුවා. කිසිම බලධාරියෙක් ඒ ඉල්ලීම සැලකුවෙ නෑ. අවසානයේ දි වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දුත් කොවිඩ් හැදිලා අයි.ඩී.එච්. එකේ මිය ගියා. ඒ වෙනකොට සෞඛ්‍ය ඇමතිනිය හිටියෙත් ඒ දැඩි සත්කාර ඒකකයෙ …“

Neville fanendo hospital
නෙවිල් ප්‍රනාන්දු රෝහල

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


“ මේ තරම් දේවල් සිදුවෙද්දිත් විශේෂිත කොවිඩ් රෝහලක් පවත්වා ගන්න කටයුතු කරනවා වෙනුවට සෞඛ්‍ය අමාත්‍යාංශයෙ බලධාරීන් කළේ කොළඹ ජාතික රෝහල ඇතුලු සියලුම ප්‍රධාන රෝහල්වල කොවිඩ් වාට්ටු පටන් ගැනීම. මේ වැරැද්ද ගැන අපි නිරන්තරව කිව්වා. අන්තිමට හදිසි අසනීපෙකට රෝහල් ගතවන අසරණ රෝගීන් කොවිඩ් වැළඳිලා මැරෙන්න ගත්තා. ප්‍රධාන රෝහල් කොවිඩ් වසංගත මධ්‍යස්ථාන බවට පත් වුණා.“

“ මේක හදිසි අවස්ථාවක්. නෙවිල් ප්‍රනාන්දු රෝහල ප්‍රධාන කොවිඩ් රෝහල බවට පත් කර විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම එහි ප්‍රධානියා කරන ලෙසත් විවිධ රෝගාබාධ , හදිසි අනතුරු වැනි තත්වයන් යටතේ රෝහල්ගතවන කොවිඩ් ආසාදිතයන් ට ප්‍රතිකාර කිරිමට ඒ ඒ විෂයයන්වල ප්‍රමාණික වෛද්‍යවරුන් ඒ රෝහලට අනුයුක්ත කරන්න කියන ඉල්ලීම අපේ තිබුණා. සීමාවාසික වෛද්‍යවරුන්, පූර්ව සීමාවාවාසික වෙද්‍යවරුන් මෙන්ම අවසාන වසරේ වෛද්‍ය සිසුන්ද යොදවා පූර්ණ ධාරිතාවෙන් ප්‍රතිකාර කරන්න පුලුවන් හැකියාවකට නෙවිල් ප්‍රනාන්දු රෝහල සූදානම් කරන්න කියන යෝජනාව අපි සෞඛ්‍ය අමාත්‍යාංශයට කළා. බලධාරීන්ට කිව්වා.“

“ඒත් ඒ කිසිම දෙයක් වුනේ නෑ. සෑම දිස්ත්‍රික්කයකම තියන ප්‍රධාන රෝහල් සාමාන්‍ය රෝගීන්ට සුරක්ෂිතව ප්‍රතිකාර ගන්න පුලුවන් විදිහට කළමනාකරණය කරලා සෑම දිස්ත්‍රික්කයක් සඳහාම රෝගීන්ට ප්‍රතිකාර කරන එක් රෝහලක් සහ මෘදු රෝග ලක්ෂණ සහිත රෝගීන් වෙනුවෙන් අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන කීපයක් පවත්වාගන්න කියන ඉල්ලීම අපි යළිත් සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් කරනවා. දැන්වත් නෙවිල් ප්‍රනාන්දු රෝහල ප්‍රධාන කොවිඩ් රොහලක් කරන්න.  ඉදිරියට ඇති වෙන්න නියමිත තත්වය ගැන දැන් අපිට ඉඟි ලැබෙනවා. “

“ඒ වගේම අපි තවම දවසට එන කොවිඩ් මරණ පනහ හැට ගැන ගැන ඉන්නවා. කොවිඩ් නිසා ප්‍රතිකාර ගන්න රෝහල්වලට එන්න බැරි බෝ නොවන රෝග සහිත මිනිස්සු දින පතා සිය ගණන් ගෙවල්වල මැරෙනවා. කවුරුත් කතා කරන්න කැමති නැති ඇත්ත මේකයි.“

මේ අවසන් මොහොතේවත් පුද්ගලික ප්‍රතිලාභ හෝ වරදාන ගැන කල්පනා නොකර රට වෙනුවෙන් ගත යුතු තීරණය ගන්නා ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් හා එහි වගකිවයුතු බලධාරීන්ගෙන් ඉල්ලා සිටින බවත් එම වෘත්තිකයෝ   පැවසූහ.

Exit mobile version