පී.සී.ආර්. වැඩිකිරීම වෙනුවට ඉදිරියේදි කෙරෙන ප්‍රමාණයත් අඩුවෙන හැඩ

කොළඹ අවදානම් ආශ්‍රිතයන් රැසකට පීසීආර් නෑ

කොවිඩ් 19 අසාදිතයන් හඳුනාගැනීම සඳහා සිදු කෙරන පී.සී.ආර් පරීක්ෂණ සඳහා අවශ්‍ය ප්‍රතික්‍රියාකාරක සැපයුමේ පවතින දුර්වලතාවක් හේතුවෙන් දෛනිකව සිදු කෙරෙන පී.සී.ආර් ප්‍රමාණය අඩු කිරීමට සිදුව ඇති බව අද පෙරවරුවේ සෞඛ්‍ය අමාත්‍යංශයේ දී පැවැති නිලධාරීන්ගේ සාකච්ඡාවකදී අනාවරණය වී ඇත.

මේ තත්ත්වය නිසා දෛනික සිදු කෙරෙන පරීක්ෂණ ප්‍රමාණය ඉදිරි දින කිහිපයේදී අඩු කිරීමට සිදුවනු ඇතැයි ලංකාසරට කරුණු අනාවරණය කළ සෞඛ්‍ය අමාත්‍යංශයේ නිලධාරියෙක් සඳහන් කළේය.

සෞඛ්‍ය අමා‍ත්‍යංශ ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් දෛනික ව උදෑසන පැවැත්වෙන කොවිඩ් 19 සම්බන්ධ සාකච්ඡාවේදී මෙම කරුණු අනාවරණය වී ඇති අතර අමාත්‍යංශය ඉල්ලුම් කරන ප්‍රමාණයෙන් අදාළ ප්‍රතික්‍රියක නොලැබීම මේ තත්ත්වයට හේතු වී ඇතැයි එම ආරංචි මාර්ග තවදුරටත් සඳහන් කළේය.


මේ අතර ලංකාසර ඇමතූ වෛද්‍යවරයෙක් සඳහන් කළේ මේ වනවිට කොළඹ නගර සීමාව තුළ හඳුනා ගැනෙන ආශ්‍රිතයින්ගේ පී.සීආර් පරීක්ෂණ සිදු කිරීම බොහෝ සෙයින් ප්‍රමාද වී ඇති බවය.

ආසාදිතයන් ට පීසීආර් පරීක්ෂණවලින් රෝගීන් බවට තහවුරු වුණද ඔවුන් ප්‍රතිකාර මධ්‍යස්ථානවලට යොමු කිරීමට දින කිහිපයක් ගත වන බවත් එතෙක් එම නිවසේ සිටින එම රෝගියාගේ පවුලේ අය ආශ්‍රිතයන් බවට පත් වුණත් ඔවුන් නිවස තුළ දින කිහිපයක් ගත කරන්නට සිදුව ඇති අතර පී.සී.ආර් පරීක්ෂණ සිදු කිරීමද දින කිහිපයකි ප්‍රමාද කිරීමට සිදුව ඇති බවය.

සෞඛ්‍ය අමාත්‍යශයේ වසංගත රෝග අංශයේ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා ඊයේ ප්‍රකාශ කළේ දැනට වාර්තා වන රෝගීන් ප්‍රමාණයට සාපේක්ෂව වසංගතය පැතිරීම පාලනය කිරීම සඳහා අවම වශයෙන් පීසීඅර් පරීක්ෂණ 15000ත් 20000ත් අතර ප්‍රමාණයක් සිදු කළ යුතු බව අවධාරණය කළ අතර දැනට සාමාන්‍යයෙන් දිනකදී සිදුවන්නේ පීසීආර් පරීක්ෂණ 15000ක් හෝ ඊට ආසන්න සංඛ්‍යාවකි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ වනවිටත් කළ යුතු පීසීආර් පරීක්ෂණ සංඛ්‍යාව වැඩි කිරීමේ අවශ්‍යතාවක් තිබුණද ඉදිරියේදී සිදු කෙරෙන පරීක්ෂණ ප්‍රමාණය තවදුරටත් අඩු වනු ඇතැයි මෙම නිලධාරියා ලංකාසර ට පැවසීය.

Exit mobile version