පී.සී.ආර්. පරීක්ෂණ 1000ක වාර්තා නෑ… සමහරු දින 18ටත් වඩා නිරෝධායනයේ…

ගම්පහ, කටාන, දිවුලපිටිය, මිනුවන්ගොඩ  ප්‍රාදේශීය සෞඛ්‍ය නිලධාරීහු මිනිස්සු ඉදිරියේ නිරුත්තර වෙති...

කීර්ති ප්‍රනාන්දු –

පෙබරවාරි 01 සිට මේ දක්වා මිනුවන්ගොඩ, කටාන, ගම්පහ, දිවුලපිටිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසවල පී.සී.ආර් පරීක්ෂණ 1000ක පමණ වාර්තා නිකුත් වී නැති වීම නිසා ප්‍රාදේශීය සෞඛ්‍ය අංශ බරපතල අර්බුදයකට පත් වී ඇතැයි වාර්තා වේ.

ජනවාරි 01 දා සිට  අද (06) දක්වා මිනුවන්ගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ පී.සී.ආර්. පරීක්ෂණ 400ක්, කටාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ පී.සී.ආර් පරීක්ෂණ 100ක්, දිවුලපිටිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ පී.සී.ආර්. පරීක්ෂණ 250ක්, ගම්පහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ පී.සී.ආර්.පරීක්ෂණ 250ක් මෙසේ වාර්තා නොලැබී තිබේ.

සේවක මණ්ඩලවල පවතින හිඟය, පරීක්ෂණ අධිකවීම නිසා පර්යේෂණාගාර තදබදය වැනි හේතු මත මෙම පරීක්ෂණ පමා වන බව බලධාරීන් පැවසුවත් මේ වනවිට පී.සී.ආර්. වාර්තා නොමැතිව නිරෝධායනයට ලක් කර සිටින පුද්ගලයන්ගෙන් එල්ලවන පීඩනය අධික බව ප්‍රාදේශීය සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි.


“ දිවුලපිටිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ පසුගිය 29 වැනිදා ඉඳලා කළ පී.සී.ආර්. පරීක්ෂණවල වාර්තා ඇවිත් නෑ. අනේක හැම කොට්ඨාසයකම පළවෙනිදා කළ පරීක්ෂණවල  වාර්තා නෑ.

කටාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ මේ මාසෙටම එක පී.සී.ආර් පරීක්ෂණයක් කරලා නෑ. ඔවුන්ගෙ පී.සී.ආර්. පරීක්ෂණ නවත්වලා. දැනට වාරතා ලැබෙන්න තියෙන පී.සී.ආර් 100 ජනවාරි මාසෙ කරපුවා.

ක්ෂේත්‍ර සෞඛ්‍ය නිලධාරීන් ඉතාම අසරණයි මේ වගෙ වෙලාවට. මේ පී.සී.ආර්. පරීක්ෂණ කරලා තියෙන්නෙ නිරෝධායනය කළ පුද්ගලයන්ගේ. සමහරවිට ඔවුන්ගේ මේ පරීක්ෂණ යට ලක්වෙන්නෙ සතියක් දෙකක් නිරෝධායනයෙ ඉඳලා. මේ අතර සමහර පුද්ගලයො ඉන්නවා දින 18ක් නිරෝධායනයෙ ඉන්න. ඔවුන්ව කිසිවෙක් නිදහස් කරන්න අපට බලයක් නෑ පී.සී.ආර්. පරීක්ෂණවල වාර්තා නැතිව.“ සෞඛ්‍ය අංශ ප්‍රකාශකයෙක් ලංකාසරට පැවසීය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ තත්වය තුළ පීඩනයට පත් මිනිස්සුන් විමසන ප්‍රශ්නවලට පිළිතුරු ලබා දිය නොහැකි තරමට තමන් අසරණ වී ඇතැයි සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි.

 

 

 

Exit mobile version