පිළිමතලාවට ඕනම නම් ඔරලෝසු කණුවක් යළි දෙන්නම්

ඇමති චමල් රාජපක්ෂ කියයි

පිළිමතලාව නගරයේ තිබූ හෝරා ස්ථම්භය වෙනුවට නව හෝරා ස්ථම්භයක් සුදුසු ස්ථානයක් පෙන්වුවහොත් ඉදිකිරීමට සූදානම් බව අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

චමල් රාජපක්ෂ මහතා මේ බව සඳහන් කළේ මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා මේ පිළිබඳව අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමිනි.

ලක්ෂ්මන් කිරිඇල්ල මහතා මේ පිළිබඳව ඊයේ (23) පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කළ අතර කඩුගන්නාව ලෙපාල්ස වසමට අයත් පිළිමතලාව නගරයේ වසර 30කට අධික කාලයක් පැවැති හෝරා ස්ථම්භය ගලවා ඉවත් කිරීම පිළිබඳව ප්‍රශ්න කළේය.


එයට කරුණු සොයා බලා පිළිතුරු දෙන බව සඳහන් කළ චමල් රාජපක්ෂ මහා අද පාර්ලිමේන්තුවේදී සඳහන් කළේ පසුගිය සැප්තැම්බර් මස 29 වැනිදා මහනුවර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සම සභාපතිවරුන් වන මධ්‍යම පළාත් ආන්ඩුකාර ලලිත් යූ ගමගේ සහ පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ වසන්ත යාපා බණ්ඩාර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති සංවර්ධන කමිටු රැස්වීමකදී මෙම හෝරා ස්ථම්භය ගැලවීමට තීරණය කළ බවයි.

කොළඹ නුවර මාර්ගය පුළුල් කිරීම ඉදිරියේදී සිදුවන බැවින් සහ පිළිමතලාව නගරයේ රථවාහන තදබදය අවම කිරීමේ අරමුණින් මෙම ඉදිකිරීම ඉවත් කළ බවත් එයින් කිසිදු පොදු දේපළකට හානි වී නොමැති බවත් අමාත්‍යවරයා එහිදී ප්‍රකාශ කළේය.

මෙම පිළිතුර ලබා දෙන විට ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පිළිමතලාව නගරයට නව හෝරා ස්ථම්භයක් ඉදිකරනවාද නැද්ද යන්න විමසූ අවස්ථාවේ ඊට සුදුසු ස්ථානයක් පෙන්වුවහොත් ඉදි කරන බව ප්‍රකාශ කළේය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


එසේම රාජපක්ෂ අමාත්‍යවරයා තවදුරටත් සඳහන් කළේ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවලට විපක්ෂ මන්ත්‍රීවරුන්ද සහභාගී වනවා නම් මේ පිළිබඳ අවබෝධ කරගෙන එකඟතාවලට පැමිණිය හැකි බවය.

Exit mobile version