පාස්කු වින්දිතයන්ගේ නඩු 128ක් නිශ්ප්‍රභා කරන්නැයි සිරිසේන ගේ පෙත්සම සලකා බලනවා ද – නැද්ද? තීන්දුව ජනවාරි  07

පාස්කු ඉරුදින එල්ලවූ ත්‍රස්ත ප්‍රහාරය හේතුවෙන් මියගිය අය වෙනුවෙන් ඔවුන්ගේ ඥාතීන්, සදාකාලිකව ආබාධිතවූවන් හා තුවාල ලැබූවන් විසින් තමන්ට වන්දි අයකර දෙන ලෙස ඉල්ලා ගොනුකර තිබෙන නඩු 128 ක් විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කරන ලෙස නියෝග කරන්නැයි ඉල්ලා හිටපු ජනපති මෛත්‍රිපාල සිරිසේන   විසින් ගොනුකර ඇති ඉල්ලීමක් පිළිබඳ අධිකරණ නියෝගය ජනවාරි මස 7 වනදා ප්‍රකාශයට පත් කිරීමට කොළඹ දිසා විනිසුරු චතුරිකා ද සිල්වා අද (30)   නියෝග කළාය.

මෝසමක් ගොනු කරමින් මෛත්‍රීපාල සිරිසේන  වෙනුවෙන් අධිකරණය හමුවේ කරුණු දැක්වු ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාපා කියා සිටියේ මෙම නඩු සියල්ල සිවිල් නඩු විධාන සංග්‍රහය ප්‍රකාරව නඩු නිමිත්තක් නොමැතිව පවරා ඇති බවය.

මෙම නඩු ගොනු කළ අවස්ථාවේදී  මෛත්‍රීපාල සිරිසේන,   ජනාධිපතිවරයා වශයෙන් කටයුතු නොකළ බවත් ඔහු මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් දැන සිටියේය යන උපකල්පනය මත මෙම නඩු පැවරීම සිදුකර ඇති බවත් ජනාධිපති නීතිඥවරයා සඳහන් කළේය.


මීට පෙර ද ත්‍රස්ත ප්‍රහාර රට තුළ සිදුව ඇති බැවින් පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් නඩු පවරන්නේ නම් මෙරට එල්ල වී ඇති සිය ගණනක් වූ ත්‍රස්ත ප්‍රහාර සම්බන්ධයෙන් තමාට පෙර බලයේ සිටි ජනපතිවරුන්ටත් නඩු පැවරිය යුතු බවත් ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාපා   අවධාරණය කර ඇත.

පාස්කු ප්‍රහාරයෙන් අගතියට පත්වුවන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ෂමිල් පෙරේරා   අධිකරණයේ කරුණු දක්වමින් හිටපු ජනපතිවරයා වෙනුවෙන් කරනු ලබන ඉල්ලීම සිවිල් නඩු විධාන සංග්‍රහයේ ප්‍රතිපාදනවලට පටහැනි බව කියා සිටියේය.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විත්තිකරුවන්ට කලින්ම තොරතුරු ලැබී තිබුණු බවට සාධාරණ හෙළිදරවුවීමක් ඇති බැවින් මෙම නඩු පැවරීම සිදු කළ බව කී ජනාධිපති නීතිඥ ෂමිල් පෙරේරා වගඋත්තරකාර හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන   ඉදිරිපත් කරන මූලික විරෝධතාව ප්‍රතික්ෂේප කරන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

දෙපාර්ශවරයේ කරුණු සළකා බැලු දිසා අධිකරණය, අදාළ නඩු නිශ්ප්‍රභ කරනවාද? නැද්ද? යන නියෝගය ජනවාරි 07 දින ප්‍රකාශයට පත්කරන බව අතිරේක දිසා විනිසුරුවරිය  ප්‍රකාශ කළාය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


දෙරණ –

Exit mobile version