“සහරාන්ලා හැංගුණ තැනුත් කිව්වා සැකකරු ලයිස්තු පිටින් දුන්නා ඒත් වැඩක් වුණේ නෑ”

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂවරයා පාස්කු ප්‍රහාර කොමිසම හමුවේ හෙළිකළ දේ

සහරාන් ඇතුළු අන්තවාදී ත්‍රස්ත වැඩ සම්බන්ධ සැකකරුවන් සැඟව සිටින තැන් පවා පෙන්වා දී අත්අඩංගුවට ගන්නා ලෙස තමන් කිව යුතු සෑම තැනකටම කීවේ පාස්කු ප්‍රහාරයට වසසරකට පමණ පෙර සිට බවත් මේ සම්බන්ධයෙන් තමා සතුව ලිපි ලේඛන සාක්ෂි පවතින බවත් රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන මහතා පාස්කු ප්‍රහාරය පිළිබඳ විමසන ජනාධිපති කොමිසම හමුවේ සිව්වැනි දිනටද සාක්සි දෙමින් අද පැවසීය.

එහිචී සාකසි දෙමින් නිලන්ත ජයවර්ධන මහතා තවදුරටත් සඳහන් කළේ ඒ අය ගැන පසුවිපරම් කරන ලෙසත් සහරාන්ලා මෙලෙසින් නොතබන ලෙසත් ඔහු නිර්දේශ කළ බවත් 2017 දී මේවට සම්බන්ධ 94 දෙනෙකුගේ නම් ලැයිස්තුවක් හා 2018 දී 130 දෙනෙකුගේ නම් ලැයිස්තුවකුත් වගකිවයුත්තන්ට ලබා දුන් බවත් ජයවර්ධන මහතා තවදුරටත් අනාවරණය කළේය.

විජයදාස රාජපක්ෂ මහතා අධිකරණ හා බුද්ධි ශාසන ඇමතිවරයා ලෙස සිටියදී 2016 වසරේ නොවැම්බර් 18 වෙනිදා මුස්ලිම් පවුල් 04 ක පුද්ගලයින් 32 දෙනෙක් අයි.එස්.අයි.එස් සංවිධානයට එක්වීමට සිරියාවට ගොස් ඇති බවත් එයින් රටේ ආරක්ෂාවට යම් කණ්ඩායමකින් එල්ල වන තර්ජනයක් ගැන බවත් එවකට ඇමතිවරුන් වූ රවුෆ් හකීම්, රිෂාඩ් බදියුදීන් යන මහත්වරු ඇතුළු මුස්ලිම් සංවිධානවල වැදගත් තනතුරු දරන කිහිප දෙනෙක් එවැනි තර්ජනයක් නොමැති බව කියන්නට වූ බවත් පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් කරුණු සොයා බලන ජනාධිපති කොමිසම හමුවේ ඔහු අද අනාවරණය කළ කරුණක් විය.


සිව් වැනි දිනටත් කොමිසම හමුවේ ඊයේ (30) නිලන්ත ජයවර්ධන මහතාගෙන් කොමිසම සාක්ෂි විමසූ අතර මුලින්ම කොමිසමේ අවධානය යොමු කරන ලද්දේ අයි.එස්. සංවිධානයේ නිල ප්‍රකාශයක් වන රූමියා සගරාවේ තුන්වැනි කලාපයේ පළ වූ ලිපියක් පිළිබඳව 2016 වසරේ නොවැම්බර් 14 වෙනිදා රාජ්‍ය බුද්ධි සේවය විසින් නිකුත් කළ බුද්ධි වාර්තාවක් සම්බන්ධයෙනි. එහි පළවූ ලිපියක එකලොස්වැනි ශත වර්ෂයේ ඉන්දියාවේ මුස්ලිම් සුල්තාන්වරයෙක් විසින් ලංකාවට මුදල් හා සම්පත් ලබාදීමක් ගැන සදහන් ව තිබීම සම්බන්ධයෙන් එම වාර්තාව නිකුත් කර තිබී ඇත.

එසේම පිහි භාවිත කර නිසි ආකාරයට ඝාතනයක් කරන අයුරු මෙන්ම බංගලාදේශයේ ඩකා අගනුවරට එල්ල වුණු අයි.එස්. ප්‍රහාර 24 ක් සම්බන්ධයෙන්ද කරුණු ද එම සගරාවේ අඩංගුව තිබුණු බව නිලන්ත ජයවර්ධන මහතා කොමිසම හමුවේ සදහන් කළේය.

ජාතික තවුහිත් ජමාත් සංවිධානය ගැනද එහි සදහන් වන බවත්, සිංහල මුස්ලිම් ජනකොටස් අතර පවතින් නොසන්සුන් තත්වයන්ට අමතරව තවුහිත් ජමාත් සංවිධානයේ සහරාන් හසීම් ජාතීන් අතර නොසන්සුන් තත්වයන් ඇතිවන ආකාරයේ ප්‍රකාශකරන බවත් එහි සදහන් ඇතැයි නිලන්ත ජයවර්ධන මහතා කොමිසම හමුවේ සදහන් කළේය.

“අබ්දුල් රාශික්ව ඒ වන විට සිටියේ අත්අඩංගුවට අරගෙනයි. සහරාන් සදහන් කරල තිබුණා අපේ සංවිධාන අතර ප්‍රතිඵත්තිමය ගැටුම් පැවතුණත් ඔහු අත්අඩංගුවට පත්වන්නේ පුද්ගලික කරුණක් මත නොව ඥාණසාර හිමියන්ට කළ විවේචන සම්බන්ධයෙන් බව. ඥාණසාර හිමි අල්ලා දෙවියන්ට එරෙහි පුද්ගලයෙක් ලෙසයි ඔහු හදුන්වන්නේ. අබ්දුල් රාශික්ව නිදහස් කර ගන්න කටයුතු කළ යුතු බවත් ඔහු සදහන් කරනවා. රට පාලනය කරන්නේ ඥානසාර හිමියන්ට ද මෛත්‍රීපාලද කියල ඔහු ප්‍රශ්න කරනවා. මුස්ලිම් රාජ්‍යයක නම් ඥාණසාර හිමිට හිමිවිය යුතු දඩුවම මරණය බවත් සහරාන් සදහන් කර තිබෙනවා. ගල්ගසා මරා දැමීම, හිස ගසා මරා දැමීම, එල්ලා මරා දැමීම, වැනි මරණ දඩුවම් කිහිපයක්ම සදහන් කරමින් ඊට අමතරව රටින් පිටුවහල් කිරීමක් ගැනද එහි සදහන් වෙනවා. ඊට අමතරව ඩෑන් ප්‍රියසාත් සම්බන්ධයෙනුත් සදහන් කරල තිබෙනවා. “ යැයිද නිලන්ත ජයවර්ධන මහතා කොමිසම හමුවේ පැවැසීය.

අනතුරුව කොමිසමේ අවධානය යොමු වන්නේ 2016 වසරේ නොවැම්බර් 20 වෙනිදා ජාතික තවුහිත් ජමාත් කාර්යාලයේදී සහරාන් විසින් කළ දේශනයක් සම්බන්ධයෙන් රාජ්‍ය බුද්ධි සේවය විසින් නිකුත් කළ බුද්ධි වාර්තාවක් සම්බන්ධයෙනි.

රජයේ ජ්‍යෙෂ්ඨ නීතීඥ

හිටපු අධිකරණ හා බුද්ධ ශාසන ඇමති විජයදාස රාජපක්ෂ මහතා 2016 වසරේ නොවැම්බර් 18 වෙනිදා පාර්ලිමේන්තුවේ කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් යම් කරුණක් එහි සදහන් වෙලා තිබෙනවද?

නිලන්ත ජයවර්ධන

විජයදාස රාජපක්ෂ මහතා එදින පාර්ලිමේන්තුවේදී මුස්ලිම් පවුල් 04 ක සාමාජිකයින් 32 දෙනෙක් අයි.එස්.අයි.එස්. සංවිධානයට සම්බන්ධ වුනා කියල ප්‍රකාශ කලා. ඒ සම්බන්ධයෙන් මුස්ලිම් සංවිධාන සහ දේශපාලනඥයන් විසින් පලකල අදහස් එම බුද්ධි වාර්තාවට ඇතුලත් කරල තිබෙනවා.

****ජාතික ශූරා කවුන්සලයේ සභාපතිවරයා මෙන්ම එවකට හිටපු ඇමතිවරුන් වන රවුෆ් හකීම්, රිෂාඩ් බදියුදීන්, සහ නැගෙනහිර පළාත් ප්‍රධාන ඇමතිවරයා මෙන්ම මුසිල්ම් කවුන්සලයේ එම්.එන්.අමීන් එම ප්‍රකාශයට එරෙහිව කළ ප්‍රකශත් එම බුද්ධි වාර්තාවේ ඇතුලත්කරල තිබෙනවා. එසේම එක්සත් තවුහිත් ජමාත් සංවිධානය විසින් ජනාධිපතිවරයාට එම ප්‍රකාශයට එරෙහිව නිකුත් කළ ලිපියකුත් අමුනා තිබෙනවා.

රජයේ ජ්‍යෙෂ්ඨ නීතීඥ

විජයදාස රාජපක්ෂ මහතා මෙම ප්‍රකාශය කරන විට රාජ්‍ය බුද්ධි සේවාවේ සිටි අධ්‍යක්ෂ ලෙස කියන්න පුළුවන්ද විජයදාස රාජපක්ෂ මහතා ඉදිරිපත් කළ කරුණු සත්‍යද අසත්‍යද බව.

නිලන්ත ජයවර්ධන

පාර්ලිමේන්තුවේදී ඔහු සදහන් කළේ 32 දෙනෙක් ගැන. එහෙත් අපේ වාර්තාවන්ට අනුව 28 දෙනයි අයි.එස්. සංවිධානයට එක්වීමට මෙරටින් ගොස් සිටියේ. එම හරි තොරතුරු ඒ සම්බන්ධයෙන් පැවැති රැස්වීම්වලදී මම ප්‍රකාශකර තිබෙනවා.

මෙම අවස්ථාවේදී කොමිසම විසින් නිලන්ත ජයවර්ධන මහතාගේ අවධානය යොමු කරනු ලැබුවේ යම් ඡයාරූපයක් කෙරෙහිය. එම ඡයාරූපය රාජ්‍ය බුද්ධි සේවය විසින් නිකුත් කළ බුද්ධි වාර්තාවක සදහන් වූවකි. එහි සදහන්ව ඇත්තේ ඥණසාර හිමියන්ගේ ඡායාරූපයක් සහ ගෙල සිදීමට පිහියක් දිගුකරමින් සිටින පුද්ගලයෙකු බවත් එහි කමින් සූන් යනුවෙන් සදහන්ව ඇති බවත් නිලන්ත ජයවර්ධන මහතා සදහන් කළේය.

2018 වසරේ දෙසැම්බර් 30 වෙනිදා පොලිස්පතිවරයාට යොමු කළ බුද්ධි වාර්තාවක්ද මෙම අවස්ථාවේදී නිලන්ත ජයවර්ධන මහතගේ අවධානයට යොමු කරනු ලැබීය. එම බුද්ධි වාර්තාවේ සබරගමුව, මධ්‍යම, වයඹ ප්‍රෙද්ශවල පිහිටි බෞද්ධ , හින්දු සහ ක්‍රිස්තියානි දේවස්ථානවලට එල්ලකිරීමට අදාල වාර්තාවක් බව නිලන්ත ජයවර්ධන මහතා සදහන් කළේය.

අනතුරුව තවත් ඡායාරුපයක් කෙරෙහි කොමිසම නිලන්ත ජයවර්ධන මහතාගේ අවධානයට යොමු කරන ලදි. එය නෙළුම් කුළුනට පසුබිම් වූ අයි.එස්.අයි.එස් ධඡය සහිත ඡායාරූපයකි. එහි 2023 ලෙස සටහන්වන බවත් ලංකා සිතියම ඇතුලත්ව ඇති බවත් නිලන්ත ජයවර්ධන මහතා ඒ සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කිරීමක් කළේය.

රජයේ ජ්‍යෙෂ්ඨ නීතීඥ

ඇමතිවරයාවත් ආරක්ෂක ලේකම්වරයාවත් දැනුවත් කරල තියෙන්නේ මොනවගේ කරුණු සම්බන්ධයෙන්ද?

නිලන්ත ජයවර්ධන

සහරාන් විසින් ඉදිරිපත්කරන ප්‍රකාශවල අඩංගු වන්නේ අයි.එස්.අයි.එස්. ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් බවත් ඔහු හදීස් අනුසාරයෙන් දේශනා පවත්වන බවත්.

රජයේ ජ්‍යෙෂ්ඨ නීතීඥ

2016 සැත්තැම්බර් 04 සිට ක්‍රියාත්මක කරුණු සදහන් කරල තිබෙනවද?

නිලන්ත ජයවර්ධන

සෑම ඉරිදාවකම කාතන්කුඩියේ ප්‍රධාන කාර්යාලයේ සහරාන් විසින් දේශන මාලාවක් පවත්වාගෙන ගියා. හදීස් අනුසාරයෙන් ඉස්ලාම් රාජ්‍යය සහ සිරියාව සම්බන්ධයෙන් ඔහුගේ ඉදිරිපත් කිරීම් තරුණ කණ්ඩායම් අභිප්‍රේරණය කරන බව සදහන් වෙනවා.

රජයේ ජ්‍යෙෂ්ඨ නීතීඥ

ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් මොනවහරි සදහන් කරල තිබුනද?

නිලන්ත ජයවර්ධන

ඉස්ලාම් නොවන දේශයක සිට ඉස්ලාම් රාජ්‍යක් දක්වා ශ්‍රී ලංකාවේ ගමන් මග ගැනයි එහි සදහන්වන්නේ.

කොමිසම

රාජ්‍ය බුද්ධි සේවා අධ්‍යක්ෂගේ කාර්ය රටේ ආරක්ෂාව තහවුරු කිරීම නේද?

නිලන්ත ජයවර්ධන

ඔව්

කොමිසම

යම්කිසි කණ්ඩායමකින්, මතවාදාත්මක තර්ජනයක් එල්ලවන්න පුළුවන් නේද?

නිලන්ත ජයවර්ධන

ඔව්

කොමිසම

ඒ බව මහජනතාව දැනුවත් කිරීම තුළින් රටේ ආරක්ෂාව තහවුරු කිරීම සදහා ක්‍රීයාත්මක වීමට වැදගත් නේද?

නිලන්ත ජයවර්ධන

වැදගත්

කොමිසම.

සහරාන් ගැන රටේ ජනතාව දැනුවත් කලානම් ඔහුව අත්අඩංගුවට ගැනීමට පහසුවක් වෙනවා නේද?

නිලන්ත ජයවර්ධන

ඔව්

කොමිසම

විජයදාස රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදී සදහන් කළේ රටේ ආරක්ෂාවට යම් කණ්ඩායමකින් එල්ලවන තර්ජනයක් ගැන නේද?

නිලන්ත ජයවර්ධන

ඔව්

කොමිසම

අනිත් අය කියන්න හැදුවේ තර්ජනයක් නැහැ කියල නේද?

නිලන්ත ජයවර්ධන.

ඔව්

කොමිසම

ඒ අය අතර මන්ත්‍රීවරු දෙදෙනෙක් සහ මුස්ලිම් සංවිධානවල වැදගත් වැදගත් තනතුරු දැරූ අය හිටිය නේද?

නිලන්ත ජයවර්ධන

ඔව්

කොමිසම

ඔබ රජයේ ඉහළ නිලධාරීන් දැනුවත් කළේ නැද්ද? එවැනි දෙයක් නැහැ කිව්වට එහෙම දෙයක් සිදුවෙනව කියල.

නිලන්ත ජයවර්ධන

දැනුවත් කිරීම් සහ තිබෙන තත්වය සහ තර්ජනයන් සම්බන්ධයෙන් අදාල අංශ දැනුවත් කරලයි ඒ වන විටත් තිබුනේ.

කොමිසම

මේ වගේ අනතුරක් අන්තවාදී කණ්ඩායමකින් එල්ල වන බව මහජනතාව දැනුවත් කිරීම වැදගත් නැද්ද?

නිලන්ත ජයවර්ධන

මේ වගේ තොරතුරක් ආවම ඒවා සමාජගත වුනාම විවිධ කැළඹිලි ඇතිවන්න පුළුවන්. එයත් ජාතික ආරක්ෂාවට තර්ජනයක්. අපිට ලැබෙන තොරතුරු බැලුවම ඒවා ඔක්කොම කීවොත් ලොකු ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. එම තොරතුරු මහජනතාවට ප්‍රතිචාර දක්වන්න දෙනවද කියල අපි බොහොම පරිස්සමින් කළ යුතුයි. මහජනතාව දැනුවත් කිරීම ගැටළුවක් නැහැ. එය පරිස්සමින් කළ යුතුයි.

කොමිසම

ඔබේ වාර්තා වලින් කිව්වේ නැහැ නේද සමස්ත මුස්ලිම් අය කියල

නිලන්ත ජයවර්ධන

නැහැ. කොට්ඨාශයක් ගැන පමණයි.

මෙම අවස්ථාවේදී නැවතත් බුද්ධි වාර්තා කිහිපයක් සම්බන්ධයෙන් කොමිසමේ අවධානය යොමු කරන ලදි. 2016 වසරේ නොවැම්බර් 30 වෙනිදා ආරක්ෂක ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි මහතාට යොමු කරන ලද සහරාන්ගේ දේශනයක් සම්බන්ධයෙන් නිලන්ත ජයවර්ධන මහතාගේ අවධානයට යොමු කරන ලදි.

රජයේ ජ්‍යෙෂ්ඨ නීතීඥ

මෙය ඥණසාර හිමියන් ගැන පමණක් කරුණු ඇතුලත්කර සකස් කරනු ලැබූ ලිපියක්ද?

නිලන්ත ජයවර්ධන

ඔව්

රජයේ ජ්‍යෙෂ්ඨ නීතීඥ

මේක යොමු කරන්න හේතු වූ කරුණු මතකද?

නිලන්ත ජයවර්ධන

ඥාණසාර හිමියන්ට අණතුරක් වුනොත් රටේ ලොකු ප්‍රශ්නයක් ඇති වෙන්න පුළුවන් කම තිබුණා. උන්මාදයෙන් සිටින තරුණයෙක් ගලකින් හරි ගැහුවොත් ලොකු ප්‍රශ්නයක් ඇති වෙන්න පුළුවන්. එය ජාතික ආරක්ෂාවට පවා ලොකු ගැටළුවක් වෙන්න තිබුණා. ඒ වන විට මුස්ලිම් තරුණයින් ලොකුවට රැඩිකල් වෙලයි හිටියේ.

කොමිසම

ඔබද මෙම තොරතුර ලබාදෙන්න තීරණය කරන්නේ. නැතිනම් මෙම බුද්ධි තොරතුර නිකුත් කළේ දේශපාලන බල අධිකාරියේ ඉල්ලීම මතද?

නිලන්ත ජයවර්ධන

***මම හිතන්නේ නැහැ කවුරුවත් කථා කලා කියල.

ස්වාධින ආයතනයක් විදිහටයි මේ තොරතුර යැවුවේ. 2018 වසරට වඩා 2017 වසරේ ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් තත්වය වෙනස්. මේ සම්බන්ධයෙන් විදේශ බුද්ධි අංශයකිනුත් තොරතුරු ලැබිල තිබුනා. මට මගේ තොරතුරු කරුවෝ වාර්තා ඉදිරිපත් කලාම මම ඒවා අවශ්‍ය තැන්වලට යොමු කරනවා. ඇතැම් දේශපාලනඥයන් එයට අකමැති වෙන්න ඇති. මගේ වාර්තා දේශපාලනඥයන්ට ඕනේ හැටියට වෙනස් කලේ නැහැ. ඒ රජයට ඒ රජයේ සිටි ඇමතිවරු ගැන පවා වාර්තා කලා.

කොමිසම

පලක් වුනාද?

නිලන්ත ජයවර්ධන.

ස්විමීනී රජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂ ලෙස මම මගේ රාජකාරිය කළා.

කොමිසම

සමහර වාර්තා ඔබ ආරක්ෂක ලේකම්වරයාටත් තවත් ලේඛන නීතිය හා සාමය අමාත්‍යවරයාටත් යොමු කරල තියෙනවා.

නිලන්ත ජයවර්ධන.

මම ඝෘජුවම වගකියන්නේ ආරක්ෂක ලේකම්වරයාටයි. වෙන කාල පරිච්චේදයවක් වගේ නෙමෙයි මගේ කලේ නීතිය හා සාමය අමාත්‍යාංශය තිබුනේ

ආරක්ෂක අමාත්‍යාංශය යටතේ නෙමෙයි. දේශපාලනික වශයෙන් දෙපැත්තක් තිබුනා. ඒ නිසා නීතිය හා සාමය අමාත්‍යාංශය පැත්තෙන් යමක් ඉල්ලා සිටි විට ආරක්ෂක ලේකම්වරයාගේ අනුමැතිය ලබාගෙන වාර්තා ලබාදීමක් කරනවා. දෙපැත්තටම සියළු කරුණු දැක්වූවා.

කොමිසම

දෙපැත්තටම සියළු කරුණු දැක්වූවා කියල ඔබ සදහන් කලා.

නිලන්ත ජයවර්ධන

පක්ෂ දෙකක් එකතුවෙලයි රජයක් හදල තිබුනේ. පක්ෂ දෙක අතර දර්ශනයන් පිළිබද ගැටළු තිබුනා. ආරක්ෂක කවුන්සලය තමයි දෙපැත්තම දැනුවත් කරන්න තිබුණු හොදම තැන වුණේ.

කොමිසම

සහරාන් සහ අන්තවාදය ගැන ඔබ ඒ අනුව දෙපැත්තම දැනුවත් කළාද?

නිලන්ත ජයවර්ධන

අනිවාර්යෙන්ම කළා. විශේෂ කණ්ඩායමක් දාල සහරාන්ව අත්අඩංගුවට ගන්න කියල මම කිව්වා. මම ඒ වන විට බරපතල තත්ත්වය හදුනාගෙනයි හිටියේ. 2018 වසරේ මැයි වලදීයි මම සහරාන්ව අත්අඩංගුවට ගන්න කියල කිව්වේ.

කොමිසම

විජයදාස රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදී කථා කලා. ඒ ගැන ආරක්ෂක කවුන්සලය හෝ ආරක්ෂක ලේකම්වරයාව දැනුවත් කරන්න පියවර ගත්තේ නැද්ද?

නිලන්ත ජයවර්ධන

විජයදාස රාජපක්ෂ මහතා ඒ කථාව කරන්නේ 2016 වසරේදී එහෙත් අපි ඒ සම්බන්ධයෙන් වාර්තා ඉදිරිපත් කරන්නේ 2015 වසරේ ජූලි මාසයේදීයි. ඒ සදහා විදේශ ආයතනවලින්ද අපි කරුණු ලැබුනා. අපි ඒ කරුණු දැනගෙන මාස 10 කට පස්සේ තමයි විජයදාස රජපක්ෂ මහතා ඒ කථාව පාර්ලිමේන්තුවේදී කිව්වේ.

මෙම අවස්ථාවේදී කොමිසමේ අවධානයට යොමු වූයේ පොලිස්පතිවරයාට සහ ආරක්ෂක ලේකම්වරයාට 2017 වසරේ ජනවාරි 19 වෙනිදා යොමු කරන ලද වාර්තාවක් සම්බන්ධයෙනි. ඇමරිකානු ජනාධිපතිවරයා ලෙස ට්‍රම්ස්ගේ පත්වීමෙන් පසු අයි.එස්.අයි.එස්. සංවිධානයේ ක්‍රියාකාරකම් හා සාමාජික වර්ධනය ගැන ඇමරිකාවට එල්ලවිය හැකි ප්‍රහාර අවධානමක් හේතුවෙන් මෙරට ඇමරිකානු තානාපති කාර්යාලයේ ආරක්ෂාව සම්බන්ධයෙන් එම බුද්ධි තොරතුර නිකුත් කර තිබුණි.

එසේම 2017 වසරේ ජනවාරි 26 වෙනිදා ආරක්ෂක ලේකම්වරයාට යොමු කළ ඉන්දියානු ජනරජ දින ආරක්ෂාව සම්බන්ධයෙන් හා මෙරට ඉන්දියානු මහකොමසාරිස් කාර්යාලයේ ආරක්ෂාව සම්බන්ධයෙන් වූ බුද්ධි වාර්තාවක්ද කොමිසමේ විශේෂ අවධානයට ලක්විය.

එම බුද්ධි වාර්තා දෙකෙහිම ආරක්ෂාව සම්බන්ධයෙන් ගත යුතු ක්‍රියා මාර්ග ගැන නිර්දේශයන් පවා ඉදිරිපත් කර තිබුණි.

අනතුරුව කොමිසමේ අවධානයට යොමු වන්නේ සහරාන් හෂිම්, රිල්වා සහ තවුහිත් ජමාත් සංවිධානයේ ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් රාජ්‍ය බුද්ධි සේවය විසින් 2017 වසරේ නිකුත් කළ බුද්ධි වාර්තා කිහිපයක් කෙරෙහිය.

කොමිසම

ඇමරිකාව සහ ඉන්දියාව සම්බන්ධයෙන් ඔබ ආරක්ෂක යෝජනාවන් ඉදිරිපත් කරනවා. ඒත් රිල්වාන් තවුහිත් ජමාත්, සහරාන්ලා සම්බන්ධයෙන් එවැනි යෝජනා ඉදිරිපත් කරල නැහැ. ඇයි ඔබ දෙබිඩි ප්‍රතිපත්තියක් අනුගමනය කරන්නේ.

නිලන්ත ජයවර්ධන

ඇමරිකාව , ඉන්දියාව යන තානාපති කාර්යාල වල ක්‍රියාත්මක වන ආරක්ෂක ක්‍රමවේදය වෙනස්. අපිට හිතු මතේට ගිහින් ආරක්ෂාව දෙන්න බැහැ. එයාලත් එක්ක කථාකරලයි කරන්න ඕනේ.

සහරාන් ගහනවා, ෂයිනි ගහනවා, රිල්වාන් ගහනව කියල ඒ වන විට වාර්තා තිබුණේ නැහැ. අපිට තියෙන්නේ ඇත්ත තත්වය වාර්තා කිරීමයි.

කොමිසම

ඇයි ඔබ ලංකාවේ තොරතුරු සම්බන්ධයෙන් එසේ උපදෙස් නොදුන්නේ. සහරාන්ව අත්අඩංගුවට ගන්න. පරීක්ෂණ පවත්වන්න කියල.

නිලන්ත ජයවර්ධන

සහරාන්ව අල්ලන්න, ඒ අය ගැන මොනිටර් කරන්න ආදි නිර්දේශ ලිඛිතව ඉදිරිපත් කළා. ප්‍රහාරයට අවුරුද්දකටත් කලින් ඉදල සැකකරුවන් සැඟව සිටින තැන් පෙන්නා දීලා කිව්වා විශේෂ කණ්ඩායමක් යොදවලා අත්ඩංගුවට ගන්න කියල. මං මේ ගැන කියන්න ඕනේ හැමෝටම කිව්වා. ලියන්න පුලුවන් හැම කෙනාටම ලියලා කිව්වා සහරාන්ලව මෙහෙම සමාජයේ තියන්න එපා කියල. 2017 දී මේවට සම්බන්ධ 94 දෙනෙකුගේ නම් ලැයිස්තුවක් හා 2018 දී 130 දෙනෙකුගේ නම් ලැයිස්තුවකුත් වගකිවයුත්තන්ට දුන්නා ඔවුන්ව අත්ඩංගුවට ගන්න කියල.

කොමිසම

ඔබ කල හැකි දේ කරල තියෙනවා. පසුව ඒවා ඒවා ලිපි ලේඛන මගින් තහවුරු කලා කියලද ඔබ කියන්නේ.

නිලන්ත ජයවර්ධන

ඔව්. තවදුරටත් ඔහු සමාජයේ සිටියොත් මොනවද වෙන්නේ කියලත් දැනුම්දීල තිබෙනවා

කොමිසම

ඔබ කියපු විදියට ඒ අය ක්‍රියා කලාද

නිලන්ත ජයවර්ධන –

ඉස්සර රාජ්‍ය බුද්ධි සේවයට පොලිස් විශේෂ කාර්ය බලකාය සහ ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයේ කණ්ඩායම් යොදවල තිබුනා. ඒත් මා ප්‍රධානියා ලෙස ප2015 දී රාජ්‍ය බුද්ධි සේවය භාරගන්නකොට එය පැවතියේ බුද්ධි අංශයක් ලෙස පමණයි. ඒ අනුව රාජ්‍ය බුද්ධි සේවයට පැවරුනේ තර්ජන හදුනාගෙන කෙසේ හෝ තොරතුරු රැස් කර තීරණ ගන්නා පාර්ශවයන් වෙත ලබාදීමයි.

මෙම අවස්ථාවේදී නැවතත් කොමිසමේ අවධානය යොමු වන්නේ නිලන්ත ජයවර්ධන මහතා බුද්ධි අධ්‍යක්ෂකවරයාව සිටියදී නිකුත් කළ බුද්ධි වාර්තා සම්බන්ධයෙනි. කාතන්කුඩියේ අලියාර් හංදියේදී සහරාන්ගේ කණ්ඩායමත් තවත් කණ්ඩායමකුත් අතර ඇතිවුණු ගැටුම සම්බන්ධයෙන් 2017 වසරේ මාර්තු 29 වෙනිදා නිකුත් කළ බුද්ධි වාර්තාව කෙරෙහි කොමිසමේ අවධානය යොමු කරන ලදි.

සහරාන්ගේ කණ්ඩායමට හිටපු නියෝජ්‍ය ඇමතිවරයෙක් වූ අමීර් අලී මහතාගේ පාර්ශවයේ සහයත් අනෙත් කණ්ඩායමට හිටපු නියෝජ්‍ය ඇමතිවරයෙක් වූ හිස්බුල්ලාගේ පාර්ශවයෙනුත් දේශපාලනික වශයෙන් සහය ලැබුණු බව මෙහිදී කොමිසම කළ විමසුමකදී නිලන්ත ජයවර්ධන මහතා සදහන් කළේය. මෙම දේශපාලන මැදිහත්වීම් මත ගැටළුව වැඩිවූ බවද ඔහු කොමිසම හමුවේ සදහන් කළේය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මෙම ගැටුම සම්බන්ධයෙන් සාධාරණ විමර්ශනයක් පවත්වන්නැයි පොලිස් දෙපාර්තමේන්තුවට දැනුම් දුන් බවද මෙහිදී නිලන්ත ජයවර්ධන මහතා කොමිසම හමුවේ සදහන් කළේය.

Exit mobile version