“බුද්ධි රහස් ගැන මාධ්‍ය ඉදිරියේ සාක්ෂි දෙන්න බෑ”

හිටපු රාජ්‍ය බුද්ධි සේවා අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන මාධ්‍ය ඉවත්කර සාක්ෂි දෙයි

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂවරයා ලෙස තමන් විශ්වාසය සහ රහසිගතභාවය උපරිමයෙන් ආරක්ෂා කළ යුතු බවත් ඇතැම් විදේශ බුද්ධි සේවා සමඟ රහසිගත බව ආරක්ෂා කරන බවට ගිවිසුම්ගත වී ඇති අතර ඔවුන් මේ දෙස දැඩි අවධානයෙන් බලා සිටින බවත් රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන මහතා අද(27) පාස්කු ප්‍රහාරය පිළිබඳ ව විමසීමේ ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂිය ලබා දීමට පෙර ප්‍රකාශ කළේය.

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර මාලාව එල්ලවූ වූ අවස්ථාවේ රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂකවරයාව සිටි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන මහතා පාස්කු කොමිසම හමුවේ අද (27) ලබාදුන් සාක්ෂිය මාධ්‍යට විවෘත නොවූ අතර මාධ්‍යට මෙම සාක්ෂි විමසීම අද විවෘත නොවූයේ නිලන්ත ජයවර්ධන මහතා සහ කොමිසමට සහය පළ කරන නීතිපති දෙපාර්තමේන්තුවේද ඉල්ලීම මතය.

මෙම සාක්ෂි විමසීමේ කොටසක් හෝ මාධය වෙත විවෘත කළ යුතුය යන්න ජනාධිපති කොමිසමේ කොමසාරිස්වරුන්ගේ බහුතර මතය විය.


ඒ අනුව නිලන්ත ජයවර්ධන මහතාගේ සාක්ෂි විමසීම ආරම්භයේදීම පැන නැගුණු ජාතික ආරක්ෂාව පිළිබද ගැටලුවක් මුල්කරගෙන මාධ්‍ය නොමැතිව ඒ සම්බන්ධයෙන් නිලන්ත ජයවර්ධන මහතාගේ සාක්ෂිය අද විමසීමට කොමිසම පියවර ගත්තේය.

“මම රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂවරයා. විශ්වාසය හා රහසිතගභාවය ආරක්ෂා කරන්න ඕනේ. මේ දෙන සාක්ෂි මුල සිටම රහසිගතවිය යුතු බව සිතනවා. විදේශ බුද්ධි සේවා මේ දෙස බලා සිටිනවා. ඒ අය එක්ක රහසිගතව වැඩ කරනවා කියල අපි එකගතාවයන්ට සහ ගිවිසුම්ගතවෙලා තිබෙනවා. දැනටමත් තර්ජන ඇවිල්ල තියෙනවා. යම් යම් තොරතුරු හෙළිවීම තුළින් විදෙස් බුද්ධි අංශවලින් ලැබෙන සහය සම්බන්ධයෙන් ගැටළු පැන නැගීමට පුළුවන්. එය ජාතික ආරක්ෂාවට විශාල තර්ජනයක් විය හැකියි. මේක පිළිගත් ඉස්ලාම් දහම නෙ‍මෙයි. මානසික උන්මන්තකයින් කරපු වැඩක්. පෞද්ගලිකව මම මගේ පවුල සහ දරුවන්ගේ මෙන්ම පවුලේ සාමාජිකයන්ගේ ආරක්ෂාව පිළිබදවත් සැළකිලිමත් වෙන්න ඕනේ. මම මෙම කොමිසම හමුවේ ලබාදෙන සාක්ෂි රාජ්‍ය ආරක්ෂාවට ඝෘජුවම බලපෑමක් වෙන්න පුළුවන්“ නියෝජ්‍ය පොලිස්පති දීගොඩ ගමගේ නිලන්ත ජයවර්ධන මහතා පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් කරුණු සොයා බලන ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබාදීමට පෙර කොමිසමේ අවධානයට යොමු කරනු ලැබීය.

ඔහු එසේ කොමිසමේ අවධානයට එම කරුණු යොමු කරනු ලැබුවේ ඔහු වෙනුවෙන් කොමිසම හමුවේ පෙනී සිටි ජනාධිපති නීතීඥ නලින්ද ඉන්ද්‍රතිස්ස මහතා විසින් ඔහුගේ සාක්ෂිය මාධ්‍ය නොමැතිව ලබා ගැනීම සුදුසු බවට කළ යෝජනාවත් සමගිනි.

නිලන්ත ජයවර්ධන මහතා සාක්ෂි ලබාදෙන්නේ රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂක ලෙස බවත්, ඔහුගෙන් ප්‍රශ්න කෙරෙන්නේ රාජ්‍ය ආරක්ෂාවට බලපාන කරුණු සම්බන්ධයෙන් බවත් නිලන්ත ජයවර්ධන මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ නලින්ද ඉන්ද්‍රතිස්ස මහතා කොමිසමේ අවධානයට යොමු කරන ලදි.
මෙම අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් කොමිසම හමුවේ පෙනී සිටින නිලන්ත ජයවර්ධන මහතාගේ සාක්ෂි සෙහෙයවන අතිරේක සොලිසිටර් ජනරාල්වරිය ද කොමිසමෙන් ඉල්ලා සිටියේ මාධ්‍ය නොමැතිව සාක්ෂි ලබා ගැනීම සුදුසු බවය.

මේ සම්බන්ධයෙන් කොමිසමේ සභාපති විනිසුරු විසින් කොමිසමේ සෙසු කොමසාරිස්වරුන්ගේ අදහස් විමසීමකින් අනතුරුව මුලින්ම සදහන් කරනු ලැබුවේ සාක්ෂිකරු විසින් සාක්ෂි කූඩුවේ සිට ඉල්ලීමක් කළේ ඔහු රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ බැවින් කීමට ඇති කරුණු ජාතික ආරක්ෂාවට බලපෑම් එල්ලවිය හැකි බවත් ඔහු මේ වන විට සේවයේ නිරතව සිටින්නේ නැගෙනහිර පළාතේ බැවින් ඔහුගේ යම් යම් ප්‍රකාශ හේතුවෙන් ඔහුටත් ඔහුගේ පවුලේ සාමාජිකයන්ටත් සිදුවිය හැකි අවධානමක් ගැන බවයි.
අනතුරුව සභාපති විනිසුරු සදහන් කළේ කොමිසන් සභාවට සහය දක්වන අතිරේක සොලිසිටර් ජනරාල් මෙනවිය මෙම සාක්ෂිකරුගේ සාක්ෂිය වෙනත් සාක්ෂිකරුවන්ගේ මෙන් කොටසක් විවෘතවත් කොටසක් මාධ්‍ය නොමැතිවත් කළ නොහැකි බැවින් සාක්ෂිකරුගේ සම්පූර්ණ සාක්ෂිය මාධ්‍ය නොමැතිව ලබා ගන්නා ලෙසයි.
ඉදිරිපත් කරනු ලැබූ සියළු කරුණු කොමිසන් සභාවේ සාකච්ඡා කිරීමෙන් පසු බහුතර මතයට අනුව මෙම සාක්ෂිකරුගේ යම් සාක්ෂි විවෘතවත්, යම් සාක්ෂි මාධ්‍ය නොමැතිව පැවැත්වීමටත් තීරණය කළ බව සභාපති විනිසුරු සදහන් කළේය.
කොමිසමේ සාමාජික විශ්‍රාමික අභියාචනාධිකරණ විනිසුරු සුනිල් රාජපක්ෂ මහතා ගේ මතය වූයේ සාක්ෂිකරුගේ සම්පූර්ණ සාක්ෂිය මාධ්‍ය නොමැතිව ලබාගතයුතු බව යැයිද සභාපති විනිසුරු පැවැසීය.
එම තීරණය ගැනීමේදී මෙම සාක්ෂිකරු දැනටමත් විවිධ නිලධාරීන්ට යවන ලද සටහන් විවෘතව සාක්ෂි ලෙස විමසූ බව සලකා බැලූ බවද සභාපති විනිසුරු අවධාරණය කළේය.

ඒ අනුව මාධ්‍ය ඉදිරියේ කොමිසමේ සාක්ෂි විමසීම ආරම්භ විය.
අතිරේක සොලිසිටර් ජනරාල්වරිය
ආර්ථිකයේ ඉල්ලුම වැඩිවෙලා. සැපයුම අඩුවුනොත් මිලෙහි සිදුවන්නේ කුමක්ද?

නිලන්ත ජයවර්ධන
මිල ඉහළ යනවා

අතිරේක සොලිසිටර් ජනරාල්වරිය
ව්‍යාපාර ගිණුම් කරණය පිළිබද ඉන්දියාවේ පංජාබ් විශ්ව විද්‍යාලයෙන් මූලික උපාධිය ඔබ විසින් ලබාගෙන ශ්‍රාස්ත්‍රපති උපාධිය කොළඹ විශ්ව විද්‍යාලයෙන් ලබාගත් බව සදහන් කළොත්

නිලන්ත ජයවර්ධන
නිවැරදියි

අතිරේක සොලිසිටර් ජනරාල්වරිය
හරට බරට බැරවුණු ඔබ නීතිය හා සාමයට බැරවුණු පොලිස් දෙපාර්තමේන්තුවට බැදුණේ ඇයි?

නිලන්ත ජයවර්ධන
ආධුනික සහකාර පොලිස් අධිකාරීවරයෙක් ලෙසයි මම පොලීසියට බැදුණේ. ඊට මුල්වුනේ මගේ විශ්ව විද්‍යාල කථිකාචාර්යවරයායි. ඔහු මට පැවැසුවා සහකාර පොලිස් අධිකාරීවරුන් බදවා ගැනීමට ගැසට්කරල තිබෙනවා. ඒ කාලේ මට බැරිවුනා. ඔයා ඉල්ලල බලන්න කියල. ඒ වෙනකොට මට වෙනත් රැකියා කිහිපයක්ම ලැබිලා තිබුනා.

අතිරේක සොලිසිටර් ජනරාල්වරිය
ඔබ සහකාර පොලිස් අධිකාරීවරයෙක් ලෙස බැදුණේ 1998 වසරේ පෙබරවාරි යැයි කීවොත්

නිලන්ත ජයවර්ධන
නිවැරදියි

අතිරේක සොලිසිටර් ජනරාල්වරිය
අවස්ථා දෙකකදී ඔබ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් දෙදෙනෙකුගේ පුද්ගලික සහකාරවරයෙක් ලෙස කටයුතුකර තිබෙනවා යැයි සදහන් කලොත් නිවැරදිද?

නිලන්ත ජයවර්ධන
ඔව්. සිරිල් හේරත් මහතාගේ පුද්ගලික සහකාර ලෙස කටයුතු කරන ගමන් අභ්‍යන්තර බුද්ධි අධ්‍යක්ෂ මණ්ඩලයේ සේවයෙ කලා. ඒ වගේම 2014 වසරේ ජනවාරි 01 වෙනිදා සිට 2014 වසරේ ජුනි 06 දක්වා මාස හයක කාලයක් එවකට උතුරු පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාව සිටි පූජිත් ජයසුන්දර මහතාගේ පුද්ගලික සහකාර ලෙස කටයුතු කලා.

අතිරේක සොලිසිටර් ජනරාල්වරිය
ඔබ රාජ්‍ය බුද්ධි සේවයේ දරපු තනතුරු මොනවාද?

නිලන්ත ජයවර්ධන
සහකාර අධ්‍යක්ෂකධුරයේ සිට අධ්‍යක්ෂධූරය දක්වා සියළුම අධ්‍යක්ෂක තනතුරුදැරුවා.

අතිරේක සොලිසිටර් ජනරාල්වරිය
විදේශයක සේවය කිරීමට අවස්ථාවක් ලැබුණාද?

නිලන්ත ජයවර්ධන
2007 වසරේ සිට 2008 වසර දක්වා කැනඩාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ පළමු ලේකම් ආරක්ෂක ලෙස කටයුතු කළා. කැනඩාවේ බුද්ධි අංශ සමග සුහදව හා සාමූහිකව කටයුතු කළා. එම කාලෙදි.

අතිරේක සොලිසිටර් ජනරාල්වරිය
නැවත සේවයට වාර්තා කළේ කොහේද?

නිලන්ත ජයවර්ධන
රාජ්‍ය බුද්ධි සේවයට

අතිරේක සොලිසිටර් ජනරාල්වරිය
කුමන තනතුරකටද රාජකාරි වාර්තා කළේ ?

නිලන්ත ජයවර්ධන
නියෝජ්‍ය අධ්‍යක්ෂ

අතිරේක සොලිසිටර් ජනරාල්වරිය
මොනවගේ රාජකාරි කටයුතුද පැවරිලා තිබුණේ?.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


(මෙම අවස්ථාවේදී නිලන්ත ජයවර්ධන මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ නලින්ද ඉන්ද්‍රතිස්ස මහතා එම ප්‍රශ්නයට මාධ්‍ය ඉදිරියේ පිළිතුරු දීම ගැන සිය විරෝධය දැක්විය. මෙම අවස්ථාවේදී අතිරේක සොලිසිටර් ජනරාල්වරියද ඉදිරි සාක්ෂි විමසීම මාධ්‍ය ඉදිරියේ සිදුකිරීම අපහසු බව කොමිසම හමුවේ ප්‍රකාශ කලාය. ඒ සම්බන්ධයෙන් කොමිසමේ සභාපති සෙසු කොමසාරිස්වරුන් සමග යම් අදහස් හුවමාරුවකින් අනතුරුව මාධ්‍ය නොමැතිව ඒ සම්බන්ධයෙන් ඉදිරි සාක්ෂි විමසීමට තීරණය කළේය.)

Exit mobile version