නොමිනිස් හැසිරීම් ගැන ලෝරන්ස් පියතුමාගේ සාක්කිය

බස්නාහිර පළාත් ආණ්ඩුකාර කාර්යාලයේ ගිණුමකින් රුපියල් ලක්ෂ 25 බැගින් වූ චෙක්පත් දෙකක් අගරදගුරුතුමන්ට භාර දුන්නා විනා බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර අසාද් සාලි විසින් පාස්කු ප්‍රහාරයෙන් පසු හානියට පත්වූ ජනතාවට අවශ්‍ය පහසුකම් සැළසීමට පුද්ගලිකවම ශතයක මුදලක් පරිත්‍යාග කර නැති බව අද (26) පාස්කු කොමිසම හමුවේ අනාවරණය විය.

එවකට හිටපු ඇමතිවරයෙක් වන රවී කරුණානායක විසින් එම චෙක්පත් රැගෙනවිත් අගරදගුරුතුමන් අතට ලබා දී ඇත. ඒ වනවිට එම චෙක්පත් අවලංගු වන්නට තිබී ඇත්තේ දින දෙකක කාලයක් පමණක් බව ද කොමිසමේ දී සඳහන් විය.

අගරදගුරු පදවියේ සමාජ සුභසාධන ආයතනයක්වන සෙත්සරණ නම් වූ ආයතනයේ අධ්‍යක්ෂ දොන් නිශාන්ත ලෝරන්ස් රාමනායක පියතුමන් විසින් කොමිසම හමුවේ සාක්ෂි ලබාදෙමින් එම කරුණු කොමිසම හමුවේ අනාවරණය කළහ.


බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරීශ්‍රයේ බිම් මහලේ රූබි ශාලාවේ ස්ථාපිතකර ඇති පංච පුද්ගල ජනාධිපති කොමිසන් සභාව රැස්වූයේ එහි සභාපති අභියාචනාධිකරණ විනිසුරු ජනක්ද සිල්වා ගේ ප්‍රධානත්වයෙනි. අභියාචනාධිකරණ විනිසුරු බන්දුල කරුණාරත්න, විශ්‍රාමික අභියාචනාධිකරණ විනිසුරුවරුන් වන සුනිල් රාජපක්ෂ, බන්දුල අතපත්තු සහ විශ්‍රාමික අධිකරණ අමාත්‍යාංශයේ ලේකම් මංගලිකා අධිකාරී කොමිසමේ සෙසු සාමාජිකයෝ වූහ. කොමිසමේ ලේකම් ලෙස කටයුතු කරන්නේ බුවනෙක හේරත් ය.

රජයේ නීතීඥවරිය

සෙත්සරණ කරිටාස් ආයතනය විසින් ආධාර ලබාදෙන පල්ලි මොනවද?

ලෝරන්ස් පියතුමා

කොච්චිකඩේ ශාන්ත අන්තෝනි, කටුවපිටිය ශාන්ත සෙබස්තියන් යන දේවස්ථානවලට ප්‍රමුඛතාවය දීල ආධාර ලබාදුන්නා. එහෙත් අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපානන්ගේ ඉල්ලීමට අනුව මඩකලපුව සියෝන් යන දේවස්ථානයටත් කොටස් දෙකකින් මුදල් දීල තිබෙනව.

රජයේ නීතීඥවරිය

කොච්චිකඩේ සහ කටුවපිටිය යන දේවස්ථාන යම්කිසි මුණිවරයෙකුට කැපකරල තිබෙන දේවස්ථානද?

ලෝරන්ස් පියතුමා

කොච්චිකඩේ දේවස්ථානය ශාන්ත අන්තෝනි මුණිවරයාටත් කටුවපිටිය දේවස්ථානය ශාන්ත සෙබස්තියන් මුනිතුමාටත් කැපකරලයි තියෙන්නේ.

රජයේ නීතීඥවරිය

කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයේ විශේෂත්වයක් තිබෙනවද?

ලෝරන්ස් පියතුමා

අපේ සංස්කෘතිය තුළ ප්‍රබලතම ශුද්ධවන්තයෙක් තමයි ශාන්ත අන්තෝනි මුනිවරයා. නැතිවුණු දේවල් සොයා ගැනීම සම්බන්ධවයි එම මුනිවරයා විශේෂත්වයක් දරන්නේ. ජනතාව භේදයකින් තොරව යමක් අහිමි වුනාම මෙම ස්ථානයට පැමිණෙනවා. ඒ අය විශ්වාස කරනව දේවස්ථානයට භාරයක් වුනාම ඒදේවල් හමුවෙනව කියල.

රජයේ නීතීඥවරිය

බේදයකින් තොරව පිහිටට එනවා යැයි සඳහන් කළේ කුමක්ද?‍

ලෝරන්ස් පියතුමා

මෙම දේවස්ථානයට අන්‍යාගමිකයන්ද පැමිණෙන බවයි මම ඉන් අදහස් කළේ. පාස්කු ප්‍රහාරයෙන් හානියට පත්වූ අයගේ නිවෙස්වලට අපි ගියා. ඒ අයගේ විස්තර අපි ගාව තිබෙනව. ඒ අය අතර ඉන්නේ කතෝලික ජනතාව පමණක් නෙමෙයි. කටුවපිටිය දේවස්ථානයට එල්ලවුණු ප්‍රහාරයෙන් මුලින් 113 දෙනෙක් මිය ගියා. ජූනි 11 වෙනිදාත් 20 වෙනිදාත් රෝහල්වල ප්‍රතිකාර ලබමින් සිටියදී දෙදෙනෙක් මිය ගියා. ඒ අනුව 115 දෙනෙක් කටුවපිටිය ප්‍රහාරයෙන් මියාගොස් තිබෙනව. ඒ අය පවුල් 78 කට අයත්.

කොච්චිකඩේ සිද්ධස්ථානයට එල්ලවුණු ප්‍රහාරයෙන් 54 දෙනෙක් ඒ මොහොතේම මිය ගියා. 2020 ජනවාරි 21 වෙනිදාත් මාර්තු 12 වෙනිදාත් දෙදෙනෙක් මිය ගියා. ඒ අනුව කොච්චිකඩේ දේවස්ථානයට එල්ලවුණු ප්‍රහාරයෙන් 56 දෙනෙක් මියගොස් සිටිනව. ඒ අය පවුල් 42 කට අයත්.

සභාපති විනිසුරු ජනක්ද සිල්වා

ස්වයං ඝාතකයා නොමැතිවද?

ලෝරන්ස් පියතුමා

ස්වයං ඝාතකයන් ඊට ඇතුළත් නැහැ.

මේ තත්වය තවත් විග්‍රහ කළොත් කටුවපිටිය ප්‍රහාරයෙන් මියගිය 115 දෙනාගෙන් 32 දෙනෙක්ම දරුවෝ. ඒ අතර පිරිමි දරුවන් 09 දෙනෙක්ද ගැහැණු දරුවන් 23 දෙනෙක්ද සිටිනව.

කොච්චිකඩේ දේවස්ථානයෙන් මියගිය අය අතර දරුවෝ 10 දෙනෙක් ඉන්නවා. ඒ අයගෙන් 06 දෙනෙක්ම පිරිමි දරුවෝ. 04 දෙනෙක් ගැහුණු දරුවො. මේ සියළු දෙනාම අවුරුදු 18 ට අඩු අයයි.

කොච්චිකඩේ දේවස්ථානයට එල්ලවුණු ප්‍රහාරයෙන් මියගිය අය අතර දෙමළ හින්දු පවුල් 13 ක් ඉන්නවා. බෞද්ධ පුද්ගලයින් 05 දෙනෙක් හිටිය. එක් මුස්ලිම් දරුවෙක් ඉන්නවා. ඒ දරුවාට වයස අවුරුදු 15 යි. දරුවගේ ආච්චි කතෝලික. හැම ඉරිදාවකම ඒ දරුවා ආච්චි එක්ක දේවස්ථානයට එනවා. ආච්චිත් බෝම්බ ප්‍රහාරයෙන් තුවාල ලැබුවා. ඒ පවුලේ හිටපු එකම දරුවා ඔහුයි. ඒ වගේම තමයි තුවාල කරුවන් අතර මුස්ලිම් සොහොයුරු සොහොයුරියන්, හින්දු සහ බෞද්ධ සොහොයුරු සොහොයුරන් ඉන්නවා.

රජයේ නීතීඥවරිය

ශාන්ත සෙබස්තියන් මුණිවරයා කුමකට ප්‍රසිද්ධයැයි කියලද ඔබ වහන්සේගේ ධර්මයට අනුව සඳහන් වන්නේ.

කටුවාපිටිය පල්ලිය

ලෝරන්ස් පියතුමන්

එතුමා රෝම අධිරාජ්‍යයේ සිටි සොල්දාදුවෙක් හැටියට සේවය කළ අයෙක්. ජේසු අදහන අය විනාශ කරන්න ඕ‍නේ කියල ඔහුගේ ප්‍රධානියා කියනව. මෙයා ඒ දේ කරන්නේ නැහැ. සෙබස්තියන් සොල්දාදුවාට ප්‍රධානියා ඒ නිසාම දඩුවම් ලබාදෙනවා. මෙයා සුවය ලබනවා. අවසානයේදී ඔහුට ප්‍රධානියා ඊතලවලින් විදල ඔහු මිය ගියා යැයි හිතල සිරුර සඟවනවා. ඒ අවස්ථාවේදීත් ඔහු සුවපත් වෙලා නැවතත් ප්‍රධානියා ඉදිරියට එනවා. ඒ වෙලාවේ ඔහු ප්‍රධානියාට අභියෝගය කරනවා මම මැරෙන කෙනෙක් නෙමෙයි කියල. ජෙසුස් වහන්සේ මට පණ දෙනව කියල. ඒ වෙලාවේ නැවතත් ඔහුට ඊතල විදිනවා. ඒ වෙලාවේ ඔහු මිය යනවා. හැබැයි කතෝලික ජනතාව විශ්වාස කරනවා මොහු සුවය දෙන පුද්ගලයෙක් කියල. ඔහු අපේ සංස්කෘතිය තුළ ශාන්ත සෙබස්තියන් සුවය ලබාදෙන ශාන්තුවරයෙක් ලෙස සැළකෙනවා. කටුවපිටිය දේවස්ථානය කැපකරල තියෙන්නේ මෙම ශාන්තුවරයා වෙනුවෙන්.

පාස්කු බෝම්බ ප්‍රහාරයෙන් පසුවත් ඇවිදින්න බැරි දරුවෙක් කටුවපිටිය දේවස්ථානයේ ඇති ඉපැරණි මෙන්ම හාස්කම් ඇතැයි සැලකෙන ප්‍රතිමාව අසල එයාගේ මව විසින් තිබ්බම ඇවිදල තියෙනවා. ඒ අම්මා ඒ ගැන අඬමින් අපිට කිව්වා. ඒ වගේම තමයි දේවස්ථානයේ ළිඳක් තිබෙනව. ඒකෙන් නෑවම සුවය ලැබෙනව කියල ජනතාව විශ්වාස කරනවා.

ශාන්ත සෙබස්තියන් මුණිතුමා මියගියේ බ්‍රහස්පතින්දා දවසක. එදාට තමයි වැඩි වශයෙන් භාරහාර වෙන්න දේවස්ථානයට ජනතාව පැමිණෙන්නේ. ශාන්ත අන්තෝනි මුනිතුමන් මියගොස් තිබෙන්නේ අඟහරුවාදාවක. එදාට තමයි ශාන්ත අන්තෝනි දේවස්ථානයට ජනතාව වැඩි වශයෙන් භාරහාර වෙන්න එන්නේ.

රජයේ නීතීඥවරිය

කටුවපිටිය ශාන්ත අන්තෝනි සිද්ධස්ථානයට ඕනෑම ආගමික කෙනෙකුට ඇතුළුවන්න පුළුවන්ද?

ලෝරන්ස් පියතුමා

ඔව්. පුළුවන්. පිට පළාත්වලින් පවා බැතිමතුන් පැමිණෙනවා. භාරහාර පවා ඒ අය ඔප්පු කරනවා. දානය දෙනවා.

රජයේ නීතීඥවරිය

කටුවපිටියේ ප්‍රහාරයෙන් මිය ගිය අය අතර අන්‍යාගමිකයන් හිටිය බව සඳහන්වුනා

ලෝරන්ස් පියතුමා

මුස්ලිම් ගැහුණු දරුවෙක් බෞද්ධ තරුණයෙක් මියගිය අය අතර සිටිනවා. බෞද්ධ තරුණයා කතෝලික තරුණියක් විවහාකර ගැනීමට සිටි අයෙක්. ඔහු පල්ලියට එදා එන්නේ එම තරුණිය එක්කයි. එම තරුණයා අවුරුදු 21ක අයෙක්.

මුස්ලිම් දරුවා අවුරුදු 14 ක දැරිවියක්. ඒ පවුලේ ගැහුණු දරුවෝ දෙන්නෙක් ඉන්නවා. බාල දරුවා තමයි මිය යන්නේ. ඒ දරුවන්ගේ අම්මා කතෝලික. තාත්තා මුස්ලිම්. ඒත් මේ දරුවා කතෝලික ආගමට ලැදි තැනැත්තියක්. එදා ඇය පල්ලියට එන්නේ ඒ නිසයි. ඇයත් ඒ බෝම්බයට බිලි වුනා.

රජයේ නීතීඥවරිය

කොච්චිකඩේ දේවස්ථානයේ ප්‍රහාරයෙන් තුවාල ලැබූවන් කීයද?

කටුවාපිටිය…

ලෝරන්ස් පියතුමා

අපි ගෙයින්ගෙට ගොස් කරුණු සොයා බැලුවා. ඒ අනුව පවුල් 121ක පුද්ගලයින් 128 දෙනෙක් තුවාල ලබා ඇතැයි අපි ලේඛනගතකරල තිබෙනව. කටුවපිටියේ තුවාල ලැබූවන් 260 දෙනෙක් ඉන්නවා. ඒ අය පවුල් 253කට සම්බන්ධයි. මෙම දේවස්ථාන දෙකට එල්ලවුණු ප්‍රහාරවලින් තුවාල ලැබූවන් 388 දෙනෙක් ඉන්නවා.

(අදාල ලේඛන කොමිසමට ඉදිරිපත් කෙරයි)

මේ වන විට බොහෝ දෙනෙක් ප්‍රතිකාර ලබල නිවෙස්වෙත ගොස් තිබෙනවා. ඒවගේම තමයි අවදානම් තත්වයෙන් තවමත් ප්‍රතිකාර ගන්න 37 දෙනෙක් ඉන්නවා. ඒ අයගෙන් 22 දෙනෙක් කටුවපිටිය දේවස්ථානයට එල්ලවුණු ප්‍රහාරයෙන් තුවාල ලැබූවන්. 17 දෙනෙක් කොච්චිකඩේ දේවස්ථානයට එල්ලවුණු ප්‍රහාරයෙන් තුවාල ලැබූ අය. ඒ අය අතර සාමාන්‍ය තත්වයට ගන්න බැරි අයත් ඉන්නවා. රෝහලින් අන්තිම රෝගියා පිටව යන්නේ මාස 14 ක් රෝහල්ගතව ප්‍රතිකාර ලබාගෙනයි. ඒ අම්මා තිලිනා හර්ෂනී. එයාගේ දරුවාත් අහිමි වුනා. එයාගේ ඇහැකුත් අහිමි වුනා. දෑතෙ ඇගිලිවලින් වැඩ කරන්නේ එකයි. ඉනෙන් පල්ලෙහා පණ නැහැ. ඇයව නිවසට ගේන්න පෙර නිවසේ ඇය වෙනුවෙන් විශේෂ කාමරයක් අපි හැදුවා. ඇය කටුවපිටිය දේවස්ථානයට එල්ලවුණු ප්‍රහාරයෙන් තුවාල ලැබූ තැනැත්තියක්. ඇගේ සහයට පැය 24 පුරාම හෙදියක් යොදවල තියෙනවා. ඇගේ වයස තවමත් අවුරුදු 33 යි. ඇයවත් අපි මේ වන විට බලා ගන්නවා. ඇයට අවශ්‍ය ප්‍රතිකාර ලබාදෙනවා.

කොච්චිකඩේ දේවස්ථානයට පැමිණ තුවාල ලැබූවන් 32 දෙදෙනෙක් පිටපලාත්වල අය. ඒ අය සිද්ධස්ථානයට පැමිණයි තුවාල වුනේ. ඒ අය නුවරඑළිය, හැටන්, මස්කෙළිය, යාපහුව වැනි ප්‍රදේශවල අය. ඒ අය අතර කුළී වැඩ සඳහා කොළඹට පැමිණි අය ඉන්නවා. එයාල දැන් ඉන්නේ වතුවල. ජාති ආගම් බේදයකින් තොරව අපි ඒ අයත් මේ වන විට බලා ගන්නවා.

මේ අවාසනාවන්ත සිදුවීම වෙලා දින දෙකකට පස්සෙයි අගරදගුරුතුමා කිව්වේ මෙවැනි වැඩ පිළිවෙළක් ක්‍රියාත්මක කරන්න කියල. ඒ වන විට ජනතාව පියතුමන්ලා පවා ප්‍රතිකේෂප කරන්න ගත්තා. සිදුවූ දේ නිසා. මෙහිදී අපිට සිදුවුනා අධ්‍යාත්මික තත්වය ගොඩ නගන්න ජනතාවගේ. ඒ වගේම තමයි උපදේශන සේවාවක් ලබාදෙන්න. තුන්වැනියට තමයි සමාජසේවා වැඩ සටහන ආරම්භ වුනේ.

පුද්ගලික රෝහල්වලින් ප්‍රතිකාර ගබාගන්නා අයට ඒ සඳහා විය හියදම් අපි දරුවා. අවශ්‍ය බෙහෙත් හේත් ගෙන්නල දුන්නා. ප්ලාස්ටික් ශෛල්‍යකර්ම සඳහා ද දරුවන් කිහිප දෙනෙක් මේ වන විට සූදානමින් ඉන්නවා. ඒ සම්බන්ධයෙනුන් සෑම දෙයක්ම සොයා බලා කටයුතු කරන්නේ අපියි.

කටුවපිටියේ ප්‍රහාරයෙන් දරුවෝ සියළු දෙනාමත් සැමියාත් බිරිඳත් මියගොස් තනිවුණු 10 දෙනෙක් ඉන්නවා. ඒ අය අතර මව්වරු දෙදෙනෙක්ද පියවරු 06 දෙනෙක්ද ඉන්නවා. ඒ අයගේ පවුලේ හැමෝම මියගොස්. ඉතිරිවෙලා ඉන්නේ ඒ අය පමණයි. මේ අය දැඩිව මානසිකව වැටිලයි ඉන්නේ. අද හොඳට ඉන්නවා. ඊළඟ දවසේ ඒ අය වෙනස් වෙනවා. අගරදගුරුතුමා සඳහන්කරල තිබෙනව ඒ අයගේ මතකය වෙනස් කරන්න විදේශයකට රැගෙන ගොස් ටික කාලයක් තියන්න පුළුවන්නම් ඒ දේත් කරන්න කියල. භයානක තත්වය තමයි මේ අය සියදිවි හානිකර ගැනීමට පවා උත්සහ දරා තිබීම. අපිට තිබෙන බිය එයයි. ඒ එක් මවක් ප්‍රහාරයෙන් දරුණු ලෙස තුවාල ලැබුවා. දරුවෝ දෙන්නත් සැමියාත් මිය ගිහින්. ඇය ඉන්නේ තනිවම. ඇගේ වැඩිමහල් දියණිය විශ්ව විද්‍යාලයට තේරුණු බවට වූ ලිපිය ලැබෙන්නේ බෝම්බ ප්‍රහාරයෙන් දියණිය මියගොස් දින දෙකකට පසුවයි. ඇය ඒ ලිපිය අදත් අතේ තබාගෙනයි නිදා ගන්නේ. අපි මේ අයට නිරත්නරයෙන් උපදේශන සේවා ලබාදෙනවා. වැටෙන්න දෙන්නේ නැහැ.

ඇතැම් නිවෙස්වලට පල්ලියෙන් උදව් උපකාර කරනවා. ඒ වගේම තමයි ඇතැම් නිවෙස්වලට කෝකියන් පවා යොමුකරල තිබෙනව කෑම බීම සකස්කර දෙන්න. කුළී නිවාසවල ජීවත්වන අයට කුළිය ගෙවනවා. මාසයකට රුපියල් ලක්ෂ දෙක තුන පවා ඇතැම් පවුල්වලට අදටත් අපි වියදම් කරනවා. පවුල් පිටින් බලා ගන්නවා.

අසාද්සාලි සියෝන් දේවස්ථානයේ ප්‍රධාන දේවගැති රොෂාන් මහේෂන්, හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන

රජයේ නීතීඥවරිය

සෙත් සරණ ආයතනය විසින් මියගිය සහ තුවාල ලැබූවන් වෙනුවෙන් මූල්‍යමය හෝ වෙනත් ආධාර ලබාදීම් ගැන ලේඛනයක් තිබෙනවද?

ලෝරන්ස් පියතුමා

මූල්‍ය ආධාර ලබාදීම් සම්බන්ධයෙන් සියළුම වාර්තා තිබෙනව.

(අදාල ලේඛන කොමිසම වෙත ඉදිරිපත් කරයි. කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයට එල්ලවුණු ප්‍රහරයෙන් තුවාල සහ මියගිය පවුල් 114 කට රුපියල් මිලියන 41.9 ක මුදලක් ලබාදී ඇති බවත් කටුවපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානයට එල්ලවුණු ප්‍රහාරයෙන් මිය ගිය සහ තුවාල ලැබූ පවුල් 281 දෙනෙකුට රුපියල් මිලියන 95.579 ක් බෙදා දී ඇතැයි එම ලේඛනවල වෙන් වෙන්ව සදහන්ව තිබේ.)

රජයේ නීතීඥවරිය

රජයෙන් මුදල් ලැබීමක් සිදුවුනාද?. ඔබ ආයතන මුදල් බෙදීමේදී යම් තක්සේරුවකට අනුවද එය සිදුකළේ.

ලෝරන්ස් පියතුමා

අපි මුදල් බෙදීම් සහ ආධාර උපකාර කරනු ලැබුවේ යම් තක්සේරුවකට අනුවයි. රජය මුදල් දුන්නද? දෙනවද? කියල බලාගෙන හිටියේ නැහැ. අගරදගුරු හිමපාණන් අපිට දැනුම් දුන්නා උදව් කරන්න කියල. අපි තුවාල ලැබූවන්ව ලියාපදිංචි කළා. කතෝලික, හින්දු, මුස්ලිම්, බෞද්ධ හැම පවුලකටම අපේ සහන සේවය ක්‍රියාත්මක වුනා.

සියෝන් දේවස්ථානය… මඩකලපුව

රජයේ නීතීඥවරිය

සියෝන් පල්ලියට අදාලව සෙත්සරණ ආයතනයෙන් අධාර මුදලක් ලබා දුන්නද?

ලෝරන්ස් පියතුමා

අගරදගුරු තුමාගේ උපදෙස් මත මමත් තවත් පියතුමන්ලා කිහිපදෙනෙකුත් ස්වාමීන්වහන්සේලා දෙනමකුත් එක්ක සියෝන් දේවස්ථානයට ගියා. ඒ ගිහින් අපි සෙත්සරණ මෙන් එම ප්‍රදේශයේ ඇති අහෙඩ් නැමැති සංවිධානයට ලක්ෂ 50 ක මුදලක් ගිණුම්ගත කළා. ඒ අගරදගුරු හිමිපානන්ගේ උපදෙස් මත. ඒ අයට අපි දැනුම් දුන්නා ප්‍රහාරයෙන් හානි වෙලා තිබෙන දැඩි අවශ්‍යතා බලා ඒ මුදල් බෙදා දෙන්න කියල. ප්‍රහාරයට ලක්වුණු දේවස්ථානයේ දේවගැතිවරයා ලෙස කටයුතු කළේ රොෂාන් කියල දේවගැතිවරයෙක්. ඔහු අපිට 2019 මැයි 29 වෙනිදා ආරාධනා කළා අපි ලබාදුන් මුදල් හානියට පත්වූ ජනතාවට බෙදන්න එන්න කියල. ආරක්ෂක හේතූන්මත එම ප්‍රදේශයට අගරදගරුතුමාට යන්න දුන්නේ නැහැ. ඒ නිසා මමයි ස්වාමීන්වහන්සේ නමකුයි ගිහින් එම මුදල් හානියට පත්වූ පවුල් වෙත බෙදා දුන්නා.

රජයේ නීතීඥවරිය

ඊට පසු අදියර දෙක යටතේ තවත් මූල්‍ය ප්‍රදානයක් කළාද?

ලෝරන්ස් පියතුමා

අගරදගුරුතුමා 2019 වසරේ ජුනි මාසයේ දිනක සියෝන් දේවස්ථානය බැහැ දකින්න යනවා. එහිදී රුපියල් මිලියන 05 ක චෙක්පතක් දේවගැති රොෂාන් අතට භාරදෙනවා. අගරදගුරු තුමාගේ අතින්ම ඒක භාරදුන් නිසා භාරගත් බවට දේවතැති රොෂාන්ගෙන් අත්සන් ගත්තේ නැහැ. පසුව රොෂාන් දේවගැතිවරයාට අපි දැනුම් දුන්නා චෙක්පත ලැබුණු බවට දැනුම්දීමක් අපිට කරන්න කියල. ඒත් එම දැනුම් දීම සිදුවුනේ නැහැ. එම දේවගැතිවරයා සිය භාර්යාවත් සමග දැන් ඉන්නේ කැනඩාවේ. ඔහු වෙනුවට දැන් දේවස්ථානයේ ඉන්න දේවගැතිවරයා කොමිසම හමුවේ මෙයට පෙර පෙනී සිට සඳහන්කර තිබෙනවා ඒ මුදල් ලැබුනේ නැහැ කියල.

සභාපති විනිසුරු ජනක්ද සිල්වා

දෙවැනි මුදල දුන්නේ කොහොමද?

ලෝරන්ස් පියතුමා

කෑෂ් චෙක් එකක් ලෙසයි. එම චෙක්පත ලබාදීල දින දෙකක් යන විට ඔහුගේ භාර්‍යාවගේ නමින් බැංකුවට ඉදිරිපත්කරල මුදල් ලබාගෙන තිබෙනව.

(ඊට අදාල ලේඛන කොමිසම හමුවට ඉදිරිපත් කරයි)

සභාපති විනිසුරු

බෝම්බ ප්‍රහාරයෙන් අනතුරට ලක්වුණු අයට එම මුදල් ලබාදීල තිබෙනවද?

ලෝරන්ස් පියතුමා

මම ඒ ගැන දුරකතන ඇමතුමක් දී රොෂාන් දේවගැතිවරයාගෙන් විමසුවා. එහිදී ඔහු සඳහන් කළා කැනඩාවේ සිට ලංකාවට පැමිණිමෙන් පසු ඒ සියල්ල දැනුම් දෙන්නම් කියල.

සභාපති විනිසුරු

මුදල් බෙදාදීමක් සිදුවී තිබෙනවාදැයි සොයැ බැලීමක්වත් කළා ද?

ලෝරන්ස් පියතුමා

ඒක අපේ දේවස්තානයක් නොවන නිසා එහි ගියේ නැහැ. දේවගැති රොෂාන් ලංකාවට එන දවසක්වත් සඳහන් කළේත් නැහැ.

විනිසුරු බන්දුල කරුණාරත්න

දෙවැනි චෙක් එක කෑෂ් චෙක් එකක් ලෙස දෙන්න හේතුවක් තිබුණද?

ලෝරන්ස් පියතුමා

අගරදගුරුතුමන් එම ගමන ගියේ හදිසියේමයි. එවැනි චෙක්පතක් ඔහු අතට ලබාදුන්නේ විශ්වාසවන්ත කමටයි. පසුව තමයි දන්නේ ඔහු තනිවමයි ඒ දේවස්ථානය කරගෙන ගොස් තිබෙන්නේ කියල.

විනිසුරු බන්දුල කරුණාරත්න

ඔහු කර තිබෙන්නේ විශ්වාසය කඩ කිරීමක්. ඒ සම්බන්ධයෙන් නීතිමය පියවරක් ගන්න සූදානමක් නැද්ද?

ලෝරන්ස් පියතුමා

ඔහු එනවා කියල දැනුම් දීමක් කරලා තිබෙන නිසා බලාගෙන ඉන්නවා.

විනිසුරු බන්දුල කරුණාරත්න

ඔහු එන්නේ කවදාද කියල දැනුම්දීමක් කරල තිබෙනවද?

ලෝරන්ස් පියතුමා

නැහැ.

විනිසුරු බන්දුල කරුණාරත්න

එහෙම නම් කවදාහරි ඔහු එනතුරු බලා ඉන්නවද?

ලෝරන්ස් පියතුමා

නැහැ. අපි නීතිමය පියවර ගන්න බලාපෙරොත්තු වෙනවා.

රජයේ නීතීඥවරිය

සියෝන් දේවස්ථානය කතෝලික පල්ලියක්ද?

ලෝරන්ස් පියතුමා

නැහැ. කතෝලික සභාව පිළිගන්නා පල්ලි 07 ක් තිබෙනවා. ඊට මෙම පල්ලිය ඇතුළත් වන්නේ නැහැ. අපේ නායකත්වයත් ඒ අය පිළිගන්නේ නැහැ. ඒක බයිබල් පල්ලියක්.

රජයේ නීතීඥවරිය

සියෝන් පල්ලියේ මේ වන විට භාරකරු ලෙස කටයුතු කරන සිරිකුමාර දේවගැතිවරයා කොමිසමට සඳහන් කර තිබෙනවා ප්‍රහාරයෙන් විනාශ වූ පල්ලිය තවමත් ප්‍රතිසංස්කරණය කරල නැහැ. ආධාරත් ලැබිල නැහැ කියලා.

ලෝරන්ස් පියතුමා

විනාශවුණු දේවස්ථාන නැවත ගොඩනගන්න එවකට පැවැති රජය පොරොන්දුවක් දුන්නා. ඒ අවස්ථාවේදී එකල එම දේවස්ථානයේ භාරකරුලෙස සිටි රොෂාන් දේවගැතිවරයාටත් කොළඹ අගරදගුරු මැදුරේ පැවැත්වෙන සාකච්ඡා සඳහා පැමිණෙන්න යැයි කියල එකල ඇමතිවරයෙක්ව සිටි සජිත් ප්‍රේමදාස ආරාධනා කළා. ඒත් එතුමා පැමිණියේ නැහැ. මඩකලපුව දිසාපතියි ප්‍රාදේශිය ලේකම්වරයායි පැමිණියා. ඒ අයටත් මේ රැස්වීමට ආරාධනාකර තිබුණා.

එදා සිදුවුනේ සමාලෝචන රැස්වීමක්. එයට අගරදගුරුතුමාත් සහභාගිවී සිටියා. එහිදී නාවික හමුදාවට පැවරුණා කොච්චිකඩේ දේවස්ථානය ප්‍රතිසංස්කරණය කරන්න. කටුවපිටිය සහ සියෝන් දේවස්ථාන ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුත්ත පැවරුණේ යුද හමුදාවට. එදා ඒ පළමු රැස්වීමේදී මඩකලපුව ප්‍රාදේශිය ලේකම්තුමිය සඳහන් කළා දේවස්ථානය නගා සිටුවන්නට වෙනත් ස්ථානයක් ලබාදෙන බව. දේවගැති රොෂාන් එතැන දේවස්ථානය එතැන ගොඩ නගන්න කියල පැවසූ බවත් කීවා.

එදා ප්‍රා දේශිය ලේකම්ටත් දිසාපතිටත් ඇමතිවරයා දැනුම් දුන්නා එම සමාලෝචන රැස්වීම සතිපතා පැවැත්වෙන බැවින් ඒ දෙදෙනාට මාසයකට වරක් පැමිණියාම ප්‍රමාණවත් කියල. ඒත් ඒ අය ආවෙත් නැහැ, ඉඩම ගත්ත කියල දැනුම්දුන්නෙත් නැහැ.

රජයේ නීතීඥවරිය

සෙත්සරණින් බෙදා දෙන මේ මුදල් ලැබෙන්නේ කොහෙන්ද?

ලෝරන්ස් පියතුමා

මෙම සිද්ධිය සිදුවුනාම අගරදගුරුතුමා සඳහන් කළා, විශේෂ ගිණුම් හයක් විවෘත කරන්න කියල. රදගුරු නමින් එම ගිණුම් විවෘත කළා. එම ගිණුම්වලට කැමති ප්‍රමාණයක් මුදල් පරිත්‍යාග කරන්න කියල ජනතාවට දැනුම් දුන්නා. ජනතාව ඒ අනුව මුදල් තැන්පත් කළා. අද වන විට එම ගිණුම්වල රුපියල් මිලියන 518.089 ක් තිබෙනව. මේ 2020 මාර්තු 31 දක්වා තැන්පත් වූ මුදල් ප්‍රමාණයයි.

රජයේ නීතීඥවරිය

මෙම ගිණුම් වලට හෝ අගරදගුරුතුමාට පුද්ගලිකව හෝ බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර අසාද් සාලි මහතා මුදල් ලබාදීමක් කර තිබෙනවද?

ලෝරන්ස් පියතුමා

එහෙම ලිඛිතව ඔහු විසින් මුදල් පරිත්‍යාගයක් කරල නැහැ. එතුමා ඒ වන විට සේවයේ නිරතව සිටි ආයතනය වන බස්නාහිර පළාත් ආණ්ඩුකාර කාර්යාලයෙන් නිකුත් කළ රුපියල් ලක්ෂ 25 බැගින් වූ චෙක්පත් දෙකක් අගරදගුරුතුමාට භාරදීල තිබෙනවා. එම චෙක්පත් ලැබිල තියෙන්නේ එය අවංගු වීමට දින දෙකක් තිබියදීයි. එම චෙක්පත් රැගෙනවිත් භාරදුන්නේ එවකට සිටි ප්‍රබල ඇමතිවරයෙක් වන රවී කරුණානායක මහත්මයා. එම චෙක්පත් ගිණුම්වලට දැම්මා. ඒකේ අසාද් සාලි දුන්න කියල කිසිදු තැනක සඳහන් වෙලා නැහැ. බස්නාහිර පළාත් ආණ්ඩුකාර කාර්යාලයෙන් ලද ආකාරයටයි තියෙන්නේ.

සභාපති විනිසුරු

ඒ ගෙවීම්වලින් පෙනෙන්නේ රජයේ මුදලක් ලබාදීල තිබෙනවා කියල නේද?

ලෝරන්ස් පියතුමා

එහෙමයි. රදගුරුතුමාට ෆැක්ස් මගින් ලිපියක් ලැබිල තිබෙනවා පලාත් ලේකම්වරයාගෙන් 2019 වසරේ අප්‍රේල් 28 වෙනිදා මේ මුදල් බස්නාහිර ආණ්ඩුකාර කාර්යාලයෙන් ලබාදෙන බව සඳහන් කරල. ඒත් එම චෙක්පත් ලැබුනේ ජූලි මාසයේ. චෙක්පත් ලැබුණට පස්සේ අපි උත්තර ලියුවා එම මුදල් ලැබුණා. එය අපි භාරගත්තා කියල. එම මුදල් අදාල කටයුතු සඳහා යොදවන බවත් දැනුම් දුන්නා.

සභාපති විනිසුරු

ජනතාවට මුදල් බෙදා දුන්නේ කොහොමද?

ලෝරන්ස් පියතුමා

මුල් අවස්ථාවේදී මිය ගිය පවුල්වලට රුපියල් ලක්ෂය බැගින් ලබාදුන්නා අවමංගල්‍ය කටයුතු වෙනුවෙන්. තුවාල ලබා සිටි අයගේ පවුල් වලට රුපියල් 50000 බැගින් ලබාදුන්නා . ඊට අමතරව හැම දෙයක් ගැනම සොයා බලා අවශ්‍ය කටයුතු කළා. ඒ දේවල් සිදුවුනේ කමිටුවක් හරහා. පුද්ගලික රෝහල්වල ඉන්න අයට ඒ සඳහා වැයවන මුදල් ගෙව්වා. ඇතැම් අයට පුද්ගලික රෝහල් ප්‍රතිකාර ලබාගැනීමට සූදානම්කරල දුන්නා. ස්වාමියා මියගොස් සිටි නිවෙස්වලටත් බිරිය මියගොස් සිටි නිවෙස්වලටත් අපි මාස්පතා යම් මුදලක් ලබාදුන්නා. ඒ ඔවුන්ට ජීවත්වීමට ශක්තියක් ලෙසයි.

විනිසුරු බන්දුල කරුණාරත්න

යම් අවස්ථාවක සඳහන්කරල තිබෙනවා පසුගිය රජය කාලේ ජාත්‍යන්තර සංවිධානයක් විසින් අගතියට පත්වූ ජනතාවට සහන සලසන්න ලැබිල තියෙන මුදල් සම්බන්ධයෙන්

ලෝරන්ස් පියතුමා

ඩුබායි රාජ්‍ය යේ මුස්ලිම් සංවිධානයක් නෙළුම් පොකුණ රඟහලේදී එවකට සිටි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහත්මයාගේ ප්‍රධානත්වයෙන් උත්සවයක් පවත්වලා ඩොලර් මිලියන 05ක මුදල් චෙක්පතක ඩමියක් ලබාදුන්නා. ඒ විපතට පත් ජනතාවට දෙන්න කියල හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහත්මයාගේ අතටයි එම චෙක්පතේ ඩමිය ඒ අය ලබාදුන්නේ.

ඒකෙන් කිසිදු දායකත්වයක් බෝම්බ ප්‍රහරයෙන් හානියට පත් ජනතාවට ලැබුනේ නැහැ. මේ ගැන අගරදගුරු හිමිපානන් උන්වහන්සේ බැහැ දැකීමට පැමිණි කතෝලික ඇමතිවරුන්ට සඳහන් කරල තිබුණා. එම ප්‍රදානය ලබාදුන් සංවිධානයේ පිරිස්ද එම උත්සවයට පෙර පැමිණ අගරදගුරුතුමාව හමුවෙලා මුදල් පරිත්‍යාගයක් කරන බව පවා දැනුම්දී තිබුණා. මේ ගැන රවී කරුණානායක ඇමතිවරයාටත් පවසල ඒ ගැන සොයා බලන්න යැයි සඳහන් කළා. එම අවස්ථාවේදී රවී කරුණානායක ඇමතිවරයා කිසියම් අයෙක්ට දුරකතන ඇමතුමක් ගත්තා. එම ඇමතුම කාට දුන්නද කියල දන්නේ නැහැ. අවසානයේදී රවී කරුණානායක ඇමතිවරයා සදහන් කළේ එහෙම දෙයක් දැනගන්න නැහැ. හොයල කියන්නම් කියල.

අගරදගුරුතුමා ඒ ගැන සොයා සොයා බලන්න යැයි කීවත් තාම ඒ ගැන විභාගයක් නැහැ. කියන්න ඕනේ හැමෝටම කිව්වා. අන්තිමට මෙම කොමිසමටත් දැන් කිව්වා.

රජයේ නීතීඥවරිය

කොමිසමේ විමර්ශන ඒකකයට සඳහන් කරල තිබෙනව පාස්කු ප්‍රහාරයෙන් හානියට පත්වූ ජනතාවගේ ණය සම්බන්ධයෙන් යම් කරුණක්

කටුවාපිටිය..

ලෝරන්ස් පියතුමා

ඔව්. තුවාල ලැබූ අය සහ මිය ගිය අය අතර විවිධ ආයතනවලින් ණය ගත්තු අයත් ඉන්නවා. මීගමුවේ එක්තරා ආයතනයක් ක්‍රියාත්මක වෙනවා. ඇප නැතිව මුදල් ණයට දෙනවා සියයට 36 ක් වැනි ඉහළ පොලියකට. එතැනින් ණය ගත්තු පුද්ගලයෙක් තුවාල කරුවන් අතර ඉන්නවා. ඔහු ව්‍යාපාරිකයෙක්. ඔහු නියමිත වේලාවට මුදල් සහ පොලිය ගෙවා තිබෙනවා. ඒත් බෝම්බ ප්‍රහාරයෙන් පසු ඔහුට ව්‍යාපාර කටයුතු කරගෙන යාමට හැකියාවක් ලැබිල නැහැ. ඔහු බියෙන් ඉන්නවා ඔහුට ඇති එකම ඉඩම් කැබැල්ලත් නැතකි වේවි කියල. අපි මේ ගැන අදාල ආයතනය සමග කතා කළා. ඔවුන්ගෙන් යහපත් ප්‍රතිචාරයක් ලැබුනේ නැහැ. ඒ නිසාම අපි රජයට දැනුම් දුන්නා සියයට 36 ක් වැනි ඉහළ පොලියකට ණය දෙන ආයතනයක් පවත්වාගෙන යන්න අවසරය දුන්නේ ඇයි කියල. ඒ ගැන අදටත් අපිට පිළිතුරක් නැහැ.

ඔහු පමණක් නොවෙයි ණය කරුවන් වෙලා ඉන්නේ. අපි ඇතැම් අයගේ ණය ගෙවා ඒ අයව නිදහස් කළා. නාවික හමුදාවේ බෞද්ධ දරුවෙකුත් කොච්ච්කඩේ දේවස්ථානයේ බෝම්බයෙන් මිය ගියා. ඒ දරුවටත් ණයක් තිබෙනවා. ඒ දරුවාත් අපේ පල්ලියට නිතර යන එන දරුවෙක්. අපි ගාව ණය ලැයිස්තුවක්ම තිබෙනවා. ඒ ගැන වත්මන් අගමැතිතුමත් එක්ක අගරදගුරුතුමා එක්කත් කථා කළා.

එවකට පැවැති රජය පොරොන්දුවක් දුන්නා බෝම්බ ප්‍රහාරවලින් හානි වූ නිවාස නොමැති ජනතාවට නිවාස ඉදිකරලා දෙන්නම් කියල. ඒ සඳහා ඉඩම් ලබාදෙන්න කියල දැනුම් දීමකුත් කළා. ඒ අනුව අපි රුපියල් මිලියන 50.5 ක් වැය කරල ඉඩම් මිලදී ගත්තා. සැළසුම් පවා සකස් කළා. නිවාස ඉදිකිරීමට මුල්ගලුත් තිබ්බා. ඒ ගැනත් වත්මන් අගමැතිතුමාට අගරදගුරුතුමා සදහන් කළා. එම අවස්ථාවේදීම අගමැතිතුමා මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයාට දැනුම්දුන්නා ඒ සම්බන්ධයෙන් ප්‍රමුඛතාව දෙන්න කියල. කොවිඩ් නිසා තාම ඒ පවුල්වලට පිළිතුරක් ලැබිල නැහැ.

විනිසුරු බන්දුල කරුණාරත්න

සබරගමුව වෛද්‍ය පීඨ ශිෂ්‍යාවක් සම්බන්ධයෙනුත් කරුණක් මතුකරල තිබුනා.

ලෝරන්ස් පියතුමා

එම ශිෂ්‍යාවගේ පියා බෝම්බ ප්‍රහාරයකින් මිය ගියා. ඒ දේවස්තානවල සිදුවුණු පිපුරුමකින් නෙමෙයි. හෝටලයකට එල්ලවුණු බෝම්බ ප්‍රහාරයකින්. ඔහු හෝටලයක රෙස්ටුරන්ට් එකක වැඩ කළ අයෙක්. ඔහු නිමල්. ඔහුට එදා ඩියුටි වැටිල තිබුනේ සවස 6.00 ට. ඒත් සවස දේවස්ථානයේ වැඩකටයුත්තකට සහභාගිවන්න තිබුණු නිසා ඔහු සිය වැඩ මුරය උදෑසන 4.00 ට සකස්කරගෙන උදෑසනප සේවයට වාර්තාකර තිබුණා.

ඔහුට දියණියන් දෙදෙනක් ඉන්නවා. වැඩිමහල් දියණිය සබරගමුව විශ්ව ව්ද්‍යාලයේ වෛද්‍ය පීඨ ශිෂ්‍යාවක්. බාල දියණිය 09 ශ්‍රේණියේ අධ්‍යාපනය ලබනව. කතෝලික සභාවේ තිබෙනවා පවුල් ව්‍යාපාරය කියල දෙයක්. එයාල එම ව්‍යාපාරයට සම්බන්ධ අය. එම පවුල හරිම එකමුතුයි. ඉතාමත් ප්‍රීතියෙන් සතුටින් කාලය ගතකරපු අය. දරුවන් සහ දෙමාපියනුත් මිතුරන් ලෙස ආදර්ශවත් ජීවිතයක් ගතකළේ. ඒ අය සෙසු පවුල්වලට උපදේශන සේවා ලබාදීමටත් පල්ලිය හරහා සම්බන්ධ වුණා.

සැමියාගේ වියෝව මේ බිරියට දරා ගැනීමට නොහැකි වුනා. රෑට නින්ද යන්නේ නැහැ. ගොඩ ගන්න බැරි තරමට ඇය මානසිකව ඇද වැටුනා. දිවි නසා ගන්න පවා ඇය තැත්කලා. බාල දියණියත් මානසිකව වැටුණා. අපේ මැදිහත් වීමෙන් උපදේශන සේවා ලබාදුන්නන් එය ප්‍රමාණවත් වුනේ නැහැ. වැඩිමහල් දියණිය ඇය සමග වැඩි කාලයක් ගත කිරීමේ අවශ්‍යතාව මතු වුනා.

ඒ නිසා අපි විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමට ඒ ගැන දැනුම්දීමක් කරල ඉල්ලීමක් කළා එම දියණියව උදේ හවස නිවසේ සිට යා හැකි විශ්ව විද්‍යාලයක වෛද්‍ය පීඨයකට ඇතුළත් කරන්න කියලා. මානුෂීය පදනමකිනුයි එම ඉල්ලීම අපි කළේ. ඒ දරුවා මෙච්චර ප්‍රශ්න තියාගෙනත් ගිය අවුරුද්දෙ එම විශ්ව විද්‍යාලයේ බැජ් ටොප් උනා. ඒත් ඒ දරුවට සහනයක් ලැබුනේ නැහැ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


කොරෝනාව නිසා ඒ දරුවට මාස කිහිපයක් සිය මව ළඟ ඉන්න පුළුවන් වුනා. දැන් ඒ මව ටික ටික යහපත් තත්වයට පත්වෙනවා. ඇය මේ සියල්ල විඳ දරාගෙනයි අධ්‍යාපන කටයුතු සාර්ථකව කරගෙන යන්නේ.

Exit mobile version