පාස්කු අපරාධ නඩු අහන්න විශේෂ පුහුණුවක් ඇති විනිසුරුවන් සහිත වෙනම අධිකරණයක් නිර්දේශ කරයි

පාස්කු ඉරිදා ප්‍රහාරය ඇතුළු ත්‍රස්තවාදී නඩු සම්බන්ධ සියලූ නඩු විභාග කිරීමට විශේෂ මහාධිකරණ පිහිටුවීමටත්, එම අධිකරණ කටයුතුවලට සම්බන්ධ වන විනිසුරුවරුන්ට විශේෂ රැකවරණයක් සහ පුහුණුවක් ලබාදිය යුතු බවට පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධ විමර්ශනය කරන ලද ජනාධිපති කොමිසම විසින් නිර්දේශ කරනු ලැබ ඇත. මෙම නඩු දිනපතා විභාග කළ යුතු බවට ද බවටද ඔවුන් විසින් නිර්දේශ කර ඇත.

එමෙන්ම ආගමික හෝ ජනවාර්ගික අසමගිය ඇති කිරීම සම්බන්ධයෙන් සැකකෙරෙන යම් පුද්ගලයෙකු වරෙන්තුවක් නොමැතිව අත්අඩංගුවට ගැනීම සඳහා අවශ්‍ය විධිවිධාන සැකසීම සඳහා ද නිර්දේශ කර ඇති අතර මහේස්ත්‍රාත්වරයකු විසින් අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තුවක් නිකුත් කරන විට ත්‍රස්ත සැකකරුවකු සැඟවී සිටින ඕනෑම ගොඩනැගිල්ලක් හෝ නිවසක් පරීක්ෂාකර බැලීම සඳහා සෝදිසි වරෙන්තුවක් නිකුත් කිරීම සඳහා නීතිය සංශෝධනය කිරීම කළ යුතු බවට ද බවට ද ඒ සඳහා එක්සත් රාජධානියේ 2019 ත්‍රස්තවාදයට එරෙහි ආරක්ෂක පනතේ 56 වගන්තිය උපදේශාත්මක ලෙස ගත හැකි බවට ද මෙම කොමිසම මගින් පෙන්වා දී ඇත.

මෙම කොමිසම මගින් අපරාධ චෝදනා ගොනු කරන ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු, හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර, හිටපු බුද්ධි අංශ ප්‍රධානී නියෝජ්‍ය පොලිස්පති සිසිර මෙන්ඩිස් රාජ්‍ය බුද්ධි සේවා ප්‍රධානී නිලන්ත ජයවර්ධන ඇතුළු පොලිස් නිලධාරීන් ගණනාවකටද අපරාධ චෝදනා යටතේ නඩු ගොනු කරන ලෙස නිර්දේශ කර තිබුණි.


එමෙන්ම ශ්‍රී ලංකාවේ ඉස්ලාමීය රාජ්‍ය පිහිටුවීමට කුමන්ත්‍රණය කිරීම සම්බන්ධයෙන් රෂීඩ් හජ්ජුල්ට එරෙහිව නඩු පැවරීම පිළිබඳව සලකා බැලීමට නීතිපතිවරයා වෙත අවධානය යොමු කර ඇත. එසේම අබ්දුල් රාසික් නැමැති නැමැති ඉස්ලාමික සංවිධාන නායකයාට එරෙහිව ද අපරාධ චෝදනා ගොනු කළ හැකිද යන්න පිළිබඳ කඩිනමින් සලකා බලන ලෙස නීතිපතිවරයා වෙත නිර්දේශ කොට ඇත.

අපරාධ පරීක්ෂණ පැවැත්වීමේදී නිශ්චිත අවසරයකින් තොරව විමර්ශන ආයතන දෙකක් හෝ වැඩි ගණනක් එකම කාරණය විමර්ශනය නොකරන බවට ද සහතික විය යුතු බවට පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති කොමිසම නිර්දේශ කර ඇත. එක අවස්ථාවකදී රහස් පොලිසිය හා ත්‍රස්ත විමර්ශන අංශය යන ආයතන දෙකම සහරාන් පිළිබඳ විමර්ශනය කරමින් සිටින බව පරීක්ෂණ කොමිෂන් සභාව නිරීක්ෂණය කළ අතර එමගින් විමර්ශනවලින් ඉවත් වන ලෙස රහස් පොලිසිය ඉල්ලා ඇත.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


එවැනි තත්ත්වයන් මඟහරවා ගැනීම සඳහා මෙසේ එක් ආයතනයක් පමණක් විමර්ශනය කරන ලෙසට නිර්දේශ කොට ඇත. දැනට පවත්නා අපරාධ පරීක්ෂණවලට අදාළව පාර්ලිමේන්තු මන්ත්‍රී, පළාත් සභා මන්ත්‍රීවරුන්, පළාත් පාලන ආයතන ඇතුළු ඕනෑම දේශපාලනඥයකු කිසිදු පොලිස් නිලධාරියෙකු සම්බන්ධ කර ගැනීම වැළැක්වීම සඳහා ද නීතිමය විධිවිධාන ක්‍රියාත්මක කළ යුතු බවට කොමිසම විසින් නිර්දේශ කොට ඇත.

Exit mobile version