පාසල් නැති කාලයේත් දෙමාපියන් සුද්ද කරන ජාත්‍යන්තර පාසල් සහ ටියුෂන් ගුරුවරු

 මෙරට ක්‍රියාත්මක වන ජාත්‍යන්තර පාසල් සහ සංවිධානාත්මක උපකාරක පන්ති මේ දිනවල අන්තර්ජාලය හරහා පමණක් ඉගැන්වීම් සිදු කළද මෙම ආයතන මඟින් සිසුන්ගෙන් සම්පූර්ණ ගාස්තු අය කිරීම තුළ දෙමාපියන් මහත් අසීරුවට පත්ව ඇත. මෙම ගාස්තු නිසි කලට වේලාවට නොගෙවන දරුවන්ට අන්තර්ජාල මාර්ගයෙන් ඉගෙනීමේ පහසුකම් සහ විෂයමාලා ලබා දීම අත්හිටුවන තත්ත්වයක් තුළ දරුවන් මෙන්ම සිසුන්ද මහත් මානසික අසහනයකට පත් වන අවස්ථා පවතින බව ට දෙමාපියෝ  මෙන්ම මෙම පාසල්වල උගන්වන ගුරුවරුද පවසති.

 මේ පිළිබඳව ලංකාසරට කරුණු අනාවරණය කළ  ජාත්‍යන්තර පාසල්වලට දරුවන් යවන දෙමාපියන් පිරිසක් පැවසූයේ පවතින කොවිඩ් වසංගත තත්ත්වය තුළ දෙමාපියන්ගේද ආදායම් සීමා වී ඇති පසුබිමක සහ පාසල් නොපැවැත්වෙන පසුබිමක් තුළ සිසුන්ගෙන් පාසල් ගාස්තු ලෙස සම්පූර්ණ මුදලම අය කිරීම අසාධාරණ ක්‍රියාවක් බව ය. ඇතැම් පාසල් පළමු කොවිඩ් වසංගතය අවස්ථාවේ යම් අඩු කිරීමක් සහිතව ගාසතු අය කළද දෙවන රැල්ලේදී පාසල් වැසුණු අවස්ථාවේදී එලෙස ගාස්තු අඩු කිරීමට කටයුතු කර නොමැති  බවය. අප කළ සොයා බැලීමේදී පෙනී ගිය කරුණක් වූයේ ඇතැම් පාසල් කොවිඩ් වසංගතයේ පළමු අවස්ථාවේදී හෝ දෙවන අවස්ථාවේදී මෙසේ ගාස්තු අඩු කිරීමට ක්‍රියා කොට නොමැති බවය. විශේෂයෙන් සංචාරක කර්මාන්තය, විවිධ අපනයන ව්‍යාපාර ආදියට සම්බන්ධ වූ රැකියා සහ ව්‍යාපාර සිදුකඑරන දෙමාපියන්ගේ ආර්ථික තත්ත්වය දරුණු ලෙස බිඳ වැටී ඇති අතර ඇතැම් රැකියාවල නිරත දෙමාපියන්ට ලැබෙන මාසික වැටුප් සහ දීමනා අඩු කිරීමට කටයුතු කොට ඇත.මෙවැනි තත්ත්වයක් තුළ ඔවුන්ට තම දරුවන්ගේ පාසල් ගාස්තු ගෙවා ගැනීමේ අසීරුතාවක් නිර්මාණය වි ඇත.

මෙම ජාත්‍යන්තර පාසල් හිමියන් සේම ඇතැම් පෞද්ගලික උපකාරක පන්ති ගුරුවරුන්ද වර්තමාන පසුබිම තුළ අන්තර්ජාලය මාර්ගයෙන් අධ්‍යයන කටයුතු සිදු කළද ඔවුන්ට මේ සඳහා වැයවන පිරිවැය සාපේක්ෂව අඩු වී ඇත. එසේම අප කළ විමසීමකදී පෙනී ගියේ ඇතැම් පාසල් දරුවන්ගෙන් සම්පූර්ණ ගාස්තුව අය කළද මේ දිනවල තම ගුරුවරුන්ට වැටුපෙන් ප්‍රතිශතයක් ගෙවිමහටද කටයතු කර ඇති බවය.  එවැනි පසුබිමක් තුළ මෙම ගාස්තු අඩු කිරීම සම්බන්ධයෙන් මෙම පාසල් වෙත යම් මඟ පෙන්වීමක් අවම වශයෙන් රජයෙන් හෝ සිදුවිය යුතු බව මෙම දෙමාපියෝ  සඳහන් කරති. මෙම දෙමාපියන්ට සාමාන්‍යයෙන්  රුපියල් දස දහසේ සිට 35,000ක් පමණ දක්වා එක් එක් පාසල් අනුව ගාස්තු මාසිකව ගෙවන්නට සිදුවේ. එයින් යම් ප්‍රතිශතයක් පමණක් ලබා ගැනීම පිළිබඳව තමන් විරෝධයක් නොදක්වන බවද මෙම දෙමපියෝ පවසති. ඒ අනුව ඔවුන් රජයට යෝජනා කරන්නේ යම් රෙගුලාසියකින් හෝ මඟ පෙන්වීමකින් මෙම ගාස්තු පාසල් යළි ආරම්භ වන තෙක් යම්  නිශ්චිත ප්‍රතිශතයක් අඩු කිරීමට අදාළ පියවර ගන්නා ලෙසය.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ වනවිට මෙරට ජාක්‍යන්කර පාසල් 300කට ආසන්න ප්‍රමාණයක් පවතින බව සඳහන් වන අතර ඒවායේ අධ්‍යාපනය ලබන ශිෂ්‍ය සංඛ්‍යාව 150000 ඉක්මවන බව කියවේ. මෙම පාසල් නිසි නියාමනයට ලක් කිරීමට මෙතෙක් පත් වූ කිසිදු රජයක් සමත් වි නැති අතර පත් වූ සෑම රජයක්ම පාසල් නියාමනය සම්බන්ධයෙන් පිඹුරුපත් සකස් කළද ඒවා හමස් පෙට්ටිවලට පමණක් සීමා විය.

Exit mobile version