පාර්ලිමේන්තු බලය උරගාන්නට සිටි නියෝජ්‍ය කථානායක තේරීම අද අවිනිශ්චිතයි !

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


නියෝජ්‍ය කථානායකවරයාව සිටි රංජිත් සියඹලාපිටිය මහතා එයින් ඉවත් වන බවට දැනුම් දීම මත නව නියෝජ්‍ය කථානායකවරයකු පත් කිරීමක් අද දිනය තුළ සිදුවන බවට බොහෝ දෙනා බලාපොරොත්තු වුවද එවැන්නක් අද දිනය තුළ සිදු නොවනු ඇති බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග පවසයි. ඊට හේතුව වන්නේ නියෝජ්‍ය කථනායක ධුරය පුරප්පාඩු ව පවතින බැවින් එම තනතුරට අලුතින් පත් කළ යුතු බවට ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව වෙත දැනුම දිය යුතුව තිබුණද මෙතෙක් එම දැනුම් දීම සිදු නොවිම නිසා බව එම ආරංචි මාර්ග සදහන් කරයි.
නියෝජ්‍ය කථානායකවරයා ගේ ඉල්ලා අස්වීම ජනාධිපතිවරයා වෙත ලබා දුන් අතර එය පිළිගෙන එම තනතුර පුරප්පාඩු බව මෙලෙස දැනුම් දිය යුතුව තිබේ.
රජයට සහ ජනාධිපතිවරයාට එරෙහිව මේ වනවිට ඉදිරිපත්ව පවතින විශ්වාස භංග යෝජනාවට සහ ඊට විරුද්ධව සහය පළ වීම පිළිබඳ පාර්ලිමේන්තුවේ තුලනය උරගා බැලීමේ අවස්ථාවක් ලෙස මෙම නියෝජ්‍ය කථානායක ධුරයට මහජන නියෝජිතයකු පත් කිරීම විය හැකි බවට වාර්තා පළ වුවද මේ තත්ත්වය තුළ එය සිදුවීම අද දිනය තුළ බොහෝ දුරට අවිනිශ්චිත විය හැකි බව මෙම ආරංචි මාර්ග තවදුරටත් සඳහන් කළේය.
අද පාර්ලිමේන්තුවේදී අගමැති මහින්ද රාජපක්ෂ මහා විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමට නියමිත බව වාර්තා වන අතර ඔහු තනතුරින් ඉල්ලා අස්වීම පිළිබඳව එහිදී නිවේදනය කරනු ඇති බවද මෙම ආරංචි මාර්ග සඳහන් කරයි.ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සාකචඡාවට ගිය මුදල් අමාත්‍ය අලි සබ්රි මහතා මේ සාකචඡා පිළිබඳව පාර්ලිමේන්තුවට විශේෂ ප්‍රකාශයක් සිදු කිරිමට නියමිත අතර ඒ පිළිබඳව අද දිනය තුළ විවාදයක්ද පැවැත්වේ.
මීට අමතරව විශ්වාස භංග යෝජනා ඇතුළු ඉදිරි කටයුතු පිළිබඳව පක්ෂ නායක රැස්වීමක්ද අද පාර්ලිමේන්තුවේදී පැවත්වෙන අතර ආණ්ඩු පක්ෂ මන්ත්‍රි කණ්ඩායම වෙනමද ආණ්ඩුවේද සිය ස්වාධීන වූ මන්ත්‍රි කණ්ඩායම වෙනමද පාර්ලිමේන්තු පරිශ්‍රය තුළ අද දිනය තුළ රැස්වීමට නියමිත බව මෙම ආරංචි මාර්ග සඳහන් කළේය.

Exit mobile version