පාර්ලිමේන්තුවේ කොවිඩ් අනතුරක් නෑ – හෙට අනිද්දා රැස්වෙයි

හෙට (19) සහ අනිද්දා (20) යන දෙදින තුළ පාර්ලිමේන්තු රැස්වීම් පැවැත්වීමට අද(18) පෙරවරුවේ කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කර තිබේ.

කොවිඩ් – 19 සෞඛ්‍ය රෙගුලාසි පූර්ණ වශයෙන් ආරක්ෂා කරගනිමින් පාර්ලිමේන්තු කටයුතු පවත්වාගෙන යාමට එහිදී තීරණය කළ බව පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක මහතා පැවසීය.

හෙට පෙ.ව 10.00ට ආරම්භ වන පාර්ලිමේන්තු රැස්වීමේදී විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනත යටතේ නියමයන් 6ක් සහ රේගු ආඥා පනත යටතේ යෝජනාවක් විවාදයට ගනු ලැබේ.


පෙ.ව 10.00 සිට පෙ.ව 11.00 දක්වා කාලය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට වාචික ප්‍රශ්න ඇසීම සඳහා වෙන්කෙරෙන අතර, එහිදී අසනු ලබන ප්‍රශ්න දහයකට පමණක් සීමා කෙරෙනු ඇත .

දෙවන දිනය වන අනිද්දා (20) ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක මහතා ඉදිරිපත්කර ඇති සභාව කල් තැබීමේ යෝජනාව විවාදයට ගැනෙන බව දසනායක මහතා පැවසීය.

එම විවාදය සඳහා පෙ.ව.11.00 සිට ප.ව.4.30 දක්වා කාලය වෙන් කර ඇත.

පාර්ලිමේන්තුව විසින් අනුමත කරන ලද විවිධ නීතී රෙගුලාසි යටතේ අමාත්‍යවරුන් විසින් ඉදිරිපත් කරනු ලබන අතිවිශේෂ ගැසට් පත්‍රයන් මඟින් පළකරනු ලබන නියෝග ක්‍රියාත්මක නොවීම සම්බන්ධයෙන් මෙම සභාව කල්තැබීමේ යෝජනාව ඉදිරිපත් කෙරේ.

එදින දිවා භෝජනය සඳහා පාර්ලිමේන්තු රැස්වීම අත්හිටුවීමකින් තොරව පැවැත්වෙනු ඇත.

එදිනම පෙ.ව 10.00 සිට 11.00 දක්වා පැයක කාලයක් මන්ත්‍රීවරුන්ගේ වාචික ප්‍රශ්න සඳහා වෙන් කර ඇත.

මෙම රැස්වීමට සභානායක දිනේෂ් ගුණවර්ධන, ආණ්ඩුපක්ෂ ප්‍රධාන සංවිධායක ජොන්ස්ටන් ප්‍රනාන්දු, විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල, අමාත්‍යවරුන් වන චමල් රාජපක්ෂ, ජී. එල්. පීරිස් සහ ඩලස් අලහප්පෙරුම, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ඩග්ලස් දේවානන්ද, මහින්ද සමරසිංහ, අනුර කුමාර දිසානායක, ඩිලාන් පෙරේරා, රිෂාඩ් බදුර්දීන්, රංජිත් මද්දුම බණ්ඩාර, මනෝ ගනේෂන් සහ එම්. ඒ. සුමන්තිරන් යන මහත්වරු සහභාගි වූහ.

සෞඛ්‍යාරක්ෂිතව පාර්ලිමේන්තු රැස්වීම් පැවැත්වීම සම්බන්ධයෙන් උපදෙස් ලබා ගැනීම සඳහා පසුගිය දිනවලදී පාර්ලිමේන්තුවේදී පී.සී.ආර් (PCR) පරීක්ෂණ සිදු කළ සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් කාර්යාලයේ වෛද්‍යවරුන් කිහිපදෙනෙක්ව පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවට කැඳවා තිබුණි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ඔවුන් සමඟ මුලින්ම සාකච්ඡා කළ අවස්ථාවේදී අනතුරුදායක තත්ත්වයක් පාර්ලිමේන්තුව තුළ නොමැති බවත් එබැවින් ආරක්ෂිතව සියලු සෞඛ්‍යය රෙගුලාසි තදින්ම අනුගමනය කරමින් රැස්වීම් පැවැත්විය හැකි බවටත් උපදෙස් ලැබූ බව පාර්ලිමේන්තු මහ ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කළේය.

Exit mobile version