පරිසරයෙන් නොමිලේ ලැබෙන ඔක්සිජන්වල මිල කොවිඩ් වසංගත තේරුම් කර දුන් හැටි වන්නිලෑ ඇත්තෝ කියති…

හීන්මැණිකාගේ වියෝවෙන් පසු වන්නිලා ඇත්තන් මුලින්ම රටට කී කතාව

“දහස් ගණනක් මිනිස්සු අද කොවිඩ් වසංගතයෙන් බැට කනවා. ඔක්සිජන් වායුව මුදලට ගන්න තැනට පත්වුනාම තමයි පරිසරයෙන් ලැබෙන ඔක්සිජන් ටික මොනතරම් වටිනව ද කියලා තේරෙන්නෙ.    මේ සියල්ලම අපේ මිනිසුන් විසින්ම අත්කරගත්ත ඉරණමක් කියා මම සිතනවා“

ජීවිත කාලයක් තමන් හා එකට වාසය කරමින් විසල් රුකක් බඳුව නොපෙනී සෙවන සැලසූ හීන්මැණිකා කොවිඩ් ආසාදිතව මිය යෑමෙන් පසු වන්නිලා ඇත්තන් මුලින්ම මාධ්‍ය හමුවට පැමිණ කීවේ ඒ කතාවය.

මහියංගනයේදි ඊයේ (15) මෙම මාධ්‍ය හමුව පැවැත්විනි.   මහියංගනයේ ප්‍රදේශ රැසක සිදුවන අලි මිනිස් ගැටුම සම්බන්ධයෙන් ගත හැකි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් කරුණු විමසීමට එය සංවිධානය කර තිබිණි.


එහිදී වන්නිලා ඇත්තෝ මෙසේ ද කීහ.

“ගහකොළ වලින් පිටවන්නේ ඔක්සිජන් වායුව බව නොසිතා අපේ මිනිස්සු ගස්වැල්වලට හානි කළා. අලිඇත්තු ජීවත් වන වනාන්තර කැලෑ එළි කර කර මිනිස් වාසස්තාන ගොඩනැගුවා. අලි ඇතුන් මේ වග දන්නේ නැහැ. උන් තමන්ගේ වාසභූමවලට ආවේ කව්ද කියලා හඳුනන්නේ නැහැ. උන් උන්ගේ භූමියේ ඇවිදිනකොට මිනිස්සු කියනවා අලි ගම්වැදිලා කියලා. නිරපරාදේ අලි ඇතුන් ඝාතනය වෙනවා. මේවා දරුණු පරිසර විපත්.

හුස්ම පොදක වටිනාකම තේරුම් නොගෙන අතෝරක් නැතිව සිදුකල පරිසර හානියත් සත්ත්ව ඝාතනත් නිසා   පිටරට්ටුන්ගෙන් හුස්ම පොදත් ඉල්ලා සිටින තැනට අපට  වැටෙන්නට සිදු වෙලා. “

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


වන්නිලා ඇත්තන් වැඩිදුරටත් කීවේ පරිසරයෙන් ලැබෙන ඔක්සිජන්වල මිල කළ නොහැකි වටිනාකම කොවිඩ් නිසා පිට රටින් ඔක්සිජන් මිලදී ගන්නට සිදුවීමේ දී වැයකළ පිරිවැයෙන් තේරුම් ගත යුතු බවය.

Exit mobile version