පක්ෂයේ මධ්‍යම කාරක  සභාවවත් රැස් කරගන්න බෑ… TNA කම්මුතුයි… ආනන්ද සංගරි කියයි!

දිනසේන රතුගමගේ –

දෙමළ ජාතික සන්ධානය මේ වන විට දියාරූ වූ දේශපාලන පක්ෂයක්  බවට පත් වී එය ක්‍රමයෙන් පරිහානිය හා විනාශය කරා ළගා වෙමින් පවතින බව  ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ආනන්ද සංගරී මහතා 12 දා කිළිනොච්චියේදී පැවසීය.

කිළිනොච්චිය මාධ්‍ය මධ්‍යස්ථානයේ පැවති සාකච්ඡාවකදී ඔහු මාධ්‍යවේදීන්ට අදහස් දක්වමින් කියා සිටියේ දෙමළ ජාතික සන්ධානයට යළි තනිවම මේ රටේ දේශපාලනය තුළ නැගී සිටිය නොහැකි බවයි.

” දෙමළ ජාතික සන්ධානය පිහිටුවීමට මම මුල් වූ කාලවකවානුවේදී එම පක්ෂයට උතුරු නැගෙනහිර පළාත් දෙකෙන් මන්ත්‍රීධූර විසි ගණනක් ලැබුණා. මම ඉවත් වීමත් සමගම ඒ තත්ත්වය ක්‍රම ක්‍රමයෙන් අඩු වුණා. මේක මේ ආකාරයට සිදු වූයේ එම පක්ෂය තුළ සිටින පුද්ගලයින්ගේ බල ලෝභිත්වය නිසා හට ගෙන තිබෙන දේශපාලන කෑදරකමයි.“


“තමන් බලයට පත් වෙන්නට අවශ්‍යයැයි සිතන අය පක්ෂයේ නායකත්වයට ගරු කිරීමක් නැහැ. පක්ෂයේ ප්‍රතිපත්ති වලට ගරු කරන්නේ නැහැ .විශේෂයෙන්ම සන්ධානයක් විදිහට කටයුතු කරන කොට ඒ සන්ධානය  විසින් ගන්නා තීරණ වලට එකඟ වනවා මිසක් තමන්ගේ දේශපාලන පක්ෂයේ ප්‍රතිපත්තිම බදාගෙන කටයුතු කිරීමෙන් සිදු වන්නේ විශාල හානියකුයි. අද දෙමළ ජාතික සන්ධානයට සිදුව තිබෙන්නේ ඒ ඉරණම තමයි.“

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


“ දෙමළ ජාතික සන්ධානය තුළ බෙදීම් මතභේද ප්‍රශ්න ගැටලු නැති බව ඔවුන් කියා සිටියත් ජිනීවා නුවරට යවන ලද ලිපියට අත්සන් තැබීමේදී ඔවුන් ඉතා පැහැදිලි වශයෙන් කොටස් තුනකට කැඩී වෙන්ව සිටින බවක් ඉතා පැහැදිලිව දකින්නට ලැබුණා. මේ වන විට ඔවුන්ට පක්ෂයේ මධ්‍යම කාරක  සභාව රැස් කර ගැනීමටවත් නොහැකි අන්දමට ඔවුන් අතර තිබූ  බැදීම් දුරස් වී තිබෙනවා“  යැයිද ආනන්ද සංගරී හිටපු මන්ත්‍රීවරයා මෙහිදී පැවසීය.

Exit mobile version