නොදන්නා වසංගතයකිනුත් රටවැසියන් බේරාගත් ජනපතිගේ ඉදිරි වැඩපිළිවෙළට සහාය දෙන්න

මිරිසවැටිය විහාරාධිකාරී, රජරට විශ්වවිද්‍යාලයේ කුලපති, ආචාර්ය පූජ්‍ය ඊතලවැටුණුවැවේ ඥානතිලක නාහිමියෝ කියති

නොදන්නා වසංගතයකිනුත් රටවැසියන් බේරා ගෙන ජනතාවට ජීවත්වීමට දෙවතාවක් නිදහස උදා කර දුන් ජනාධිපතිවරයාගේ ඉදිරි වැඩපිළිවෙළට සහාය වීම සැම දෙනාගේ යුතුකමක් සහ වගකීමක් බව මිරිසවැටිය විහාරාධිකාරී රජරට විශ්වවිද්‍යාලයේ කුලපති, ආචාර්ය පූජ්‍ය ඊතලවැටුණුවැවේ ඥානතිලක නාහිමියෝ පවසති.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මිරිසවැටිය විහාරාධිකාරී නාහිමියන් අද (08) පෙරවරුවේ බැහැදුටු අවස්ථාවේ උන්වහන්සේ මේ බව සඳහන් කළහ.

රට විශාල ණය බරකට මුහුණ දී තිබිණ. එහෙත් ඒ සියල්ල කළමනාකරණය කරමින් ජනතාවට වසංගත බියෙන් තොරව නිදහසේ ජීවත් වීමට අවකාශය ලබා දීම ලෝකයේ සෙසු රටවලට ආදර්ශයක් බව උන්වහන්සේ පෙන්වා දුන්හ.


නව සාමාන්‍යකරණය යටතේ ජන ජීවිතය පවත්වා ගෙනයාමට ජනාධිපතිවරයාගේ එම වැඩපිළිවෙළ ආත්ම ශක්තියක් ලබා දී ඇති බව ඥානතිලක හිමියෝ පැවසූහ.

නැවත රට වැසීමට ඉඩ නොතබා ස්වයං විනයක් පනවා ගෙන ජීවත් විය යුතුය. එමෙන්ම ආර්ථිකය කළමනාකරණය කර ගනිමින් පවතින අර්බුදකාරී තත්ත්වයෙන් මිදී රට ඉදිරියට ගෙන යාමට ජනාධිපතිවරයා ගෙන යන වැඩපිළිවෙළට සහාය වීම සියලු දෙනාගේ යුතුකමක් සහ වගකීමක් බව ද උන්වහන්සේ අවධාරණය කළහ.

අනතුරුව ලංකාරාම විහාරයට ගිය ජනාධිපතිවරයාට විහාරාධිකාරී පූජ්‍ය රළපනාවේ ධම්මජෝති නාහිමියෝ සෙත් පිරිත් සජ්ඡායනා කර ආශිර්වාද කළහ. ජනාධිපතිතුමා රටේ වත්මන් තත්ත්වය පිළිබඳ උන්වහන්සේ දැනුවත් කළේය.

ජනාධිපතිවරයා අනුරාධපුරය ශ්‍රී සම්බුද්ධ ජයන්ති විහාරයේ විහාරාධිපති, ආචාර්ය පූජ්‍ය නුගේතැන්නේ පඤ්ඤානන්ද නාහිමියන් බැහැ දැක ආශිර්වාද ලබා ගත්තේය.

ලොව ඉහළම ඉල්ලුමක් පවතින නොරිටාකේ පිඟන් භාණ්ඩ, ජපාන ආයතනයක් විසින් මෙරට දී නිෂ්පාදනය කෙරේ. මෙම තත්ත්වය වටහා ගනිමින් ඉහළ ගුණාත්මක භාවයකින් යුත් ටයිල් මෙරට දී නිෂ්පාදනය කිරීමට රජය පියවර ගෙන තිබේ. ඉදිරි වසර තුළ මෙරටට අවශ්‍ය ටයිල් අවශ්‍යතාව දේශීය ආයතන විසින්ම ලබා දෙනු ඇතැයි ජේතවනාරාමාධිපති පූජ්‍ය ඉහළ හල්මිල්ලෑවේ රතනපාල නාහිමියන් බැහැ දුටු අවස්ථාවේ ජනාධිපතිවරයා සඳහන් කළේය.

කාබනික පොහොර වගාවන්ට ගොවි ජනතාව දිරි ගැන්වීමට ගත් ක්‍රියාමාර්ග පිළිබඳව ද ජනාධිපතිතුමා ජේතවනාරාමාධිපති හිමියන්ට පැහැදිලි කර දෙනු ලැබීය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


අභයගිරිය විහාරයට පැමිණි ජනාධිපතිතුමා විහාරාධිකාරී, ආචාර්ය පූජ්‍ය කල්ලංචියේ රතනසිරි හිමියන් බැහැ දැක උන්වහන්සේ සමග ද පිළිසඳරක නිරත විය. අනුරාධපුර පුදබිමට පැමිණෙන බැතිමතුන්ගේ සහ සංචාරකයන්ගේ පහසුව උදෙසා නිවැරදි ප්‍රවාහන සැලැස්මක් සහිතව සංවර්ධන වැඩසටහනක අවශ්‍යතාව උන්වහන්සේ පෙන්වා දුන්හ. විශාල, මධ්‍ය සහ කුඩා වැව් තුන්දාහස් තුන්සිය විසිදෙකක් රජරට කලාපය සතුය. ඒවා ප්‍රතිසංස්කරණය කර කෘෂි ආර්ථිකයට දායක කර ගැනීමට ඇති හැකියාව උන්වහන්සේ සිහිපත් කළහ. නිසි වේලාවට නිවැරදි තීන්දු ගැනීම ජනාධිපතිතුමාගෙන් මහා සංඝරත්නය අපේක්ෂා කරන බව ද රතනසිරි හිමියෝ පැවසූහ.

Exit mobile version