නුවර මාලිගාවේ දියඅගල වටා ඇති පෞරාණික බැම්ම කඩා වැටේ…

මහනුවර රාජධානි සමය ආරම්භයත් සමඟ ඉදිකර තිබෙන ශ්‍රී දළදා මාලිගා පරිශ්‍රයේ පිහිටි පෞරාණික වටිනාකමින් යුත් දිය අගලේ ආරක්ෂිත බැම්මේ විශාල කොටසක් ඊයේ (07) අලුයම කඩා වැටී තිබේ.

පුරා විද්‍යා දෙපාර්තුමේන්තුවේ අනුමැතිය ඇතිව වාරිමාර්ග දෙපාර්තුමේන්තුව මගින් දිය අගලේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදු කරමින් තිබියදී පෙරේදා (06) පස්වරුවේ සිට මහනුවරට ඇද හැළුණු අධික වර්ෂාවත් සමඟ මෙම පැති බැම්ම කඩා වැටී තිබෙන බව පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුව පවසයි.

රජ සමයේ ඉදිකර තිබෙන මෙම දිය අගල අවස්ථා කිහිපයකදීම ප්‍රතිසංස්කරණයට ලක්ව ඇත.


අධික වර්ෂා තත්ත්වයත් සමඟ සිදුවූ ගිලා බැසීමක් සමඟ ආරක්ෂිත බැම්ම කඩා වැටෙන්නට ඇති බවට අනුමාන කරන අතර පුරා විද්‍යා දෙපාර්තුමේන්තුව හා ඉංජිනේරු අංශ එක්ව ඒ සම්බන්ධව පරීක්ෂණ ආරම්භ කර තිබේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ශ්‍රී විෂ්ණු දේවාළය ඉදිරිපස ඇති දේව සන්හිඳ ආසන්නව පිහිටි දිය අගලේ ආරක්ෂිත බැම්මේ මීටර් 10 ක පමණ කොටසක් මෙසේ කඩා වැටී ඇති අතර බැම්මේ තවත් කොටසක්ද කඩා වැටීමේ අවධානමට ලක්ව ඇත.
පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව ඇතුළු වගකිව යුතු සියලු අංශ මේ සම්බන්ධව දැනුවත්කර තිබෙන බවත් එහි පිළිසකර කිරීම් සඳහා අවශ්‍ය සාකච්ඡා මේ වන විටද සිදුකෙරමින් පවතින බවත් දියවඩන නිළමේ ප්‍රදීප් නිලංගල දෑල මහතා කීය.
ඡායාරූප-දිය අගලේ ආරක්ෂිත බැම්මේ කොටසක් කඩා වැටී ඇති අයුරු.

Exit mobile version