නිවාස කොල්ල කන විශ්‍රාමික කොමාන්ඩෝ මේජර්  හෙරොයින් සමග අත් අඩංගුවට… පාතාලයටත් සම්බන්ධ බව හෙළි වෙයි!

jail

ජයකාන්ත ලියනගේ  –  බළපිටිය- 

අම්බලන්ගොඩ, කහවේ නිවසකින් රුපියල් ලක්ෂ 26 ක් වටිනා විදුලි උපකරණ හා සරනේරු තොගයක් සොරකම් කරන ලද දකුණේ ප්‍රබල පාතාල කල්ලියකට සම්බන්ධ හෙරොයින් ජාවාරම්කාර විශ්‍රාමික යුද්ධ හමුදා මේජර්වරයෙකු හෙරොයින් මිලිග්‍රෑම් 4600 ක් සමග අම්බලන්ගොඩ පොලීසිය මගින් ඊයේ (16) අත් අඩංගුවට ගෙන තිබේ.

සැකකරු අද (17) බළපිටිය මහේස්ත්‍රාත් ආර් ඩී ජනක   වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.

මෙසේ අත් අඩංගුවට ගෙන ඇත්තේ නො.17, මානිමුල්ල, අම්බලන්ගොඩ ලිපිනයේ පදිංචි 44 හැවිරිදි   පුද්ගලයෙකි. සැකකරු ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ කොමාන්ඩෝ බලකායේ සේවය කර විශ්‍රාම ලැබූ මේජර්වරයෙකු බවද පොලිස් පරීක්ෂණ වලදී තහවුරු වූයේ යැයි අම්බලන්ගොඩ පොලීසිය කියයි.

නො.31, දූව පාර, අකුරල, කහව ලිපිනයේ පදිංචි අගම්පොඩි විරාජ් කුමාර ද සිල්වා (50) නැමැති අය විසින් 2024 අප්‍රේල් 10 දින අම්බලන්ගොඩ පොලීසියට කරන ලද පැමිණිල්ලකට අනුව සැකකරු අත් අඩංගුවට ගෙන තිබේ.


සිය සහෝදරයා විසින් ව්‍යාපාර කටයුත්තක් පවත්වාගෙන යෑම සදහා ඩුබායි රටේ සිට මෙරටට එවන ලද   විදුලි උපකරණ හා සරනේරු තොගයකින් රුපියල් ලක්ෂ 26 ක් වටිනා දේපල සොරකම් කර තිබෙන බවද පැමිණිල්ලේ සදහන් වේ. 

සිය නිවසේ තාවකාලිකව නවාතැන් ගෙන සිටින සැකකරු විසින් මෙම සොරකම් කර තිබෙන බවට තොරතුරු තිබෙන බවත් ඔහු විසින් නිවසේ තිබූ ෆ්ලෑස් ලයිට් එකක් විකිණීමට කල උත්සාහයක් සම්බන්ධයෙන් තම මිතුරෙකු මාර්ගයෙන් තොරතුරු ලැබුණ බවත් පැමිණිලිකරු විසින් පොලීසියට ප්‍රකාශ කර තිබේ.

සැකකරුගෙන් ප්‍රශ්න කිරීමෙන් අනතුරුව සොරකම් කරන ලද දේපල වලින් රුපියල් ලක්ෂ 06 ක පමණ දේපල සොයා ගත් බවත් ඒවා සැකකරුගේ නිවසේ රහසිගතව සඟවා තිබූ බවත් අම්බලන්ගොඩ පොලීසිය කියයි. 

සැකකරු සන්තකයේ තිබූ හෙරෙයින් සම්බන්ධයෙන්ද අම්බලන්ගොඩ පොලීසිය මගින් කරන ලද විමර්ශන වලදී තොරතුරු රැසක් අනාවරණය කර ගැනීමට හැකි වූ බව අම්බලන්ගොඩ පොලීසිය කියයි.

දකුණේ සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු මෙන්ම මත්දව්‍ය ජාවාරම්කරුවෙකු වන අම්බලන්ගොඩ, ඉඩන්තොට පදිංචි අගම්පොඩි සජිත් සමන් ප්‍රියන්ත (26) නොහොත් ‘සමන් කොල්ලා’ නමැති අයගේ මත්ද්‍රව්‍ය  සැකකරු විසින් ජාවාරම් කර තිබෙන බවට පරීක්ෂණ වලදී අනාවරණය වූ බව අම්බලන්ගොඩ පොලීසිය කියයි. 

අම්බලන්ගොඩ, ගලගොඩ ප්‍රදේශයේ වෙළදසැලක් තුළ දී 2024 මාර්තු 11 වන දින රාත්‍රි 8.50 ට පමණ ටී – 56 වර්ගයේ ගිනි අවියකින් වෙඩි තබා පුද්ගලයින් තිදෙනෙකුට බරපතල තුවාල සිදු කිරීමේ සිද්ධියටද ‘සමන් කොල්ලා’ නැමැති අයගේ සම්බන්ධයක් තිබෙන බවද අම්බලන්ගොඩ පොලීසිය කියයි. 

මෙම වෙඩි තැබීමෙන් අම්බලන්ගොඩ, ගලගොඩ පදිංචි සිතුම් සංජන හෙවත් ‘සුදූ’ නමින් හදුන්වන 22 හැවිරිදි වෙළදසැලේ හිමිකරු ලෙස කටයුතු කල තරුණයෙක් හා හලඹ උදේෂ් මධුරංග මෙන්ඩිස් (26) නැමැති දෙදෙනා ගාල්ල, කරාපිටිය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මිය ගියේය.

සැකකරු ‘සමන් කොල්ලා’ නැමැති අයගේ හෙරොයින් ජාවාරම් කර ඊෂි කෑෂ් ක්‍රමයට හා බැංකු ගිණුම් අංකයකට මුදල් ලබාගෙන තිබෙන බවද අම්බලන්ගොඩ පොලීසිය කියයි. මෙම සැකකරු දකුණේ පාතාල කණ්ඩායම් හා එක්ව මිනිස් ඝාතන සදහා සම්බන්ධ වී තිබේද යන්න සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන බවද අම්බලන්ගොඩ පොලීසිය කියයි. 

මෙම සැකකරු යුද්ධ හමුදාවේ සේවය කර තිබෙන බැවින් ආයුධ පරිහරණය සම්බන්ධයෙන් මනා පල පුරුද්දක් තිබෙන බවත් එම නිසාම මෙම සැකය ඇතිව තිබෙන බවත් අම්බලන්ගොඩ පොලීසියේ ප්‍රකාශකයෙක් සදහන් කළේය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


අම්බලන්ගොඩ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ප්‍රසන්න ඇල්ගිරියගේ, අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක පතිජීව, උප පොලිස් පරීක්ෂක එස් ආර් බී ගමගේ, පොලිස් සැරයන් අමරසිරි (3164), පොලිස් කොස්තාපල් දිසානායක (10570) යන නිලධාරීන් විසින් වැඩිදුර විමර්ශණ සිදුකරයි. 

Exit mobile version