නිව් ෆෝට්‍රස් ගිවිසුමට හවුල් වූ නිලධාරීන්ට විදුලි ඉංජිනේරුවන්ගෙන් අනතුරු එළියක්!

ඇමෙරිකානු නිව් ෆෝට්‍රස් එනර්ජි සමාගම සමඟ මුදල් අමාත්‍යංශය විසින් අත්සන් කරන ලද ගිවිසුමට අනුව ශ්‍රි ලංකාවේ ද්‍රවීකෘත ස්වාභාවික වායු අවශ්‍ය ප්‍රමාණයට වඩා ලබැ ගැනීමටත් ඒ සඳහා මුදල් ගෙවීමටත් එකඟ වන පරිදි ගිවිසුම් ගත වී ඇති බවත් යම් හෙයකින් රටට වැඩක් නැති ආකාරයට මෙම ද්‍රවීකෘත ස්වාභාවික වායු මිලදී ගන්නට එම ගිවිසුම අනුව රටට සිදුවන්නේ නම් එම මුදල් අදාළ ගිවිසුම සම්බන්ධයෙන් ක්‍රියා කළ නිලධාරීන් සහ අදාළ උපදේශකවරුන්ගේ පෞද්ගලික මුදලින් අය කර ගත යුතු බව ලංකා විදුලි බල මණ්ඩල ඉංජිනේරු සංගමය අවධාරණය කරයි.

එම සංගමය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ තමන්ට ලැබුණු අභ්‍යන්තර ආරංචි මාර්ග අනුව, භාණ්ඩාගාර ලේකම් විසින් මෑත කාලයේ දී පත් කරන ලද නිව් ෆෝට්‍රස් ගිවිසුම සඳහා වන වන ” විශේෂඥ තාක්ෂණ කමිටුව” ශ්‍රී ලංකාවේ විදුලිබල ක්ෂේත්‍රයට අවශ්‍ය ප්‍රමාණයට වඩා වැඩි ද්‍රවීකෘත ස්වභාවික වායු පරිමාවක් (Liquified Natural Gas – LNG) ලබා ගැනීමට නිව්ෆෝට්‍රස් සමාගම සමග ගිවිසුම් ගතවීමට ඉහළින් සිදුකෙරෙන ප්‍රබල බලපෑම් මත කටයුතු කරමින් සිටින බවය.

එසේම ඉංජිනේරු සංගමයට අනුව එම තාක්ෂණික කමිටුවේ සාමාජිකයින් නොමඟ යවමින් එම ඉහළ LNG පරිමාව විදුලි බල මණ්ඩලය විසින් තමන් හට ස්වභාවික වායු පර්යන්තයක් කුලී පදනම මත (Build Operate and Transfer – BOT) ලබා ගැනීම සඳහා කැදවනු ලැබූ ටෙන්ඩරයේ අඩංගු වී ඇති ස්වාභාවික වායු පරිමාවට සමාන බව එම බලපෑම් කරන පුද්ගලයින් විසින් පවසනු ලබන බවද ගැනීමට ලැබී ඇත.

එලෙස අවශ්‍ය ප්‍රමාණය ඉක්මවා යන LNG වායු පරිමාවක් සඳහා ගිවිසුම් ගත වුවහොත් එසේ ගිවිසුම්ගත වායු පරිමාවන් සදහා ගෙවීම ප්‍රතික්ෂේප කිරීමට තම සංගමයේ සාමාජිකයින් හට අනාගතයේ සිදු වනු ඇති බවත්, එසේම එලෙස ඉහළ LNG පරිමාවක් ” (Take or Pay ) මත ගිවිසුම්ගත වීම නිසාම සහ එසේ ගිවිසුම්ගත වායු පරිමාව හට අනිවාර්යෙන් ගෙවීමට සිදුවන නිසාම එම වායු පරිමාව භාවිතා නොකොට ගෙවීම වැළැක්වීමට LNG තාප බලාගාර මගින් (වියදම අඩු විකල්ප බැහැර කොට) බලහත්කාරයෙන් ජනනය කොට භාවිතා කිරීම සිදුකිරීම ප්‍රතික්ෂේප කිරීමට ද අනාගතයේ අප සාමාජිකයින්ට සිදුවනු ඇති බවත් ඉංජිනේරු සංගමය සඳහන් කරයි.


එසේම වගකිවයුතු වෘත්තීය සංගමයක් ලෙස මෙවන් බලහත්කාරයෙන් ඔවුන් මත පටවනු ලැබූ අනීතික ගිවිසුම් මගින් තම සාමාජිකයින් හට සිදුවියහැකි වන අනර්ථකාරී බලපෑම් නැති කිරීම සඳහා තමන්ට අනිවාර්යයෙන්ම වෘත්තීය ක්‍රියාමාර්ග ගැනීමට සිදුවනු ඇති බවද ඉංජිනේරු සංගමය අවධාරණය කරයි.

විදුලි ඉංජිනේරු සංගමය විසින් නිකුත් කරන ලද නිවේදනයේ මෙසේද සඳහන් වේ.

“ලංවිම විසින් ලංසු කැඳවනු ලැබ ඇත්තේ හුදෙක්ම “පාවෙන, ගබඩාකරණ ස්වභාවික වායු පර්යන්තයක්” BOT කුලී පදනම මත ලබා ගැනීමට පමණක් බවත්, එසේ හෙයින්ම එම ටෙන්ඩරයේ අන්තර්ගතය තුල කිසිසේත්ම ස්වාභාවික වායු ඉන්ධනය මිලදී ගැනිම සඳහා හෝ එසේ මිලදී ගතයුතු අවම ස්වභාවික වායු පරිමාවක් සදහන් වීම අදාළ කරුණක් නොවන බවත් මහජනතාව වෙත අප අවධාරණය කරනු කැමැත්තෙමු.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ඒ අතරම ලංකා විදුලිබල මණ්ඩල ටෙන්ඩරයේ සඳහන් වී ඇති ” අවම සහතික LNG පරිමාව එම ටෙන්ඩරයේ අන්තර්ගත කොට ඇත්තේ LNG පර්යන්ත හිමිකරු හට ගෙවන වාර්ෂික ස්ථීර ගෙවීම (Fixed annual capacity payment) මාසික ගෙවීම් බවට පරිවර්තනය කර ගැනීම සඳහා පර්යන්තය තුළින් ගමන් ගන්නා LNG පරිමාව සමග අනුබද්ධ කොට සකස්කරගනු ලබන LNG ඒකකයක් සඳහා වන මිල (USD/MMBTU) සකසා ගැනීමට පමණක් බව අප අවධාරණය කර සිටිමු. ලංවිම විසින් මෙසේ මිල කැඳවනු ලැබුවේ LNG පර්යන්තයක් කුලී පදනම මත ලබා ගැනීමට පමණක් බැවින් සහ LNG ස්වාභාවික වායුව මිලදී ගැනීමට තවමත් ප්‍රසම්පාදන කටයුතු ආරම්භ කර නොමැති බැවින්, ගිවිසුම් ගත වන අවම වායු පරිමාවක් ලංවිම ටෙන්ඩරය තුල සදහන් වීම අදාළ නොවන කරුණක් බව විශේෂඥ කමිටු සාමාජිකයින් විසින් දැනගත යුතු යැයි අප විශ්වාස කරමු.

Exit mobile version