නිලමේලා ගේ “කුණු වලි“ ඓතිහාසික පෙරහර සම්ප්‍රදාය බිඳ දමයි!

perahara

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මහනුවර ඇසළ පෙරහර වීථි සංචාරය කළ ඊයේ (18) පළමු රන්දෝලි පෙරහර දින රාත්‍රියේ , පෙරහර අවසන් මොහොතේ විෂ්ණු සහ කතරගම දේවාල නිළමේවරුන් අතර අර්බුදයක් හටගෙන ඇති අයුරු වාර්තා වේ.

සතර මහ දේවාල වන නාථ විෂ්ණු කතරගම සහ පත්තිනි දේවාල අතුරින් විෂ්ණු දේවාලය හැඳින්වෙන්නේ මහදේවාලය ලෙසය. ඉතිහාසගත සම්ප්‍රදාය අනුව , පෙරහර වීථි සංචාරය කර පළමුව පෙරහර අහවර කොට ගෙවදින්නේ දළදා මාළිග පෙරහරය. දළදා මාළිග පෙරහර නැවත සඳකඩ පහනින් ගොඩවී දළදා මාළිගය තුළට ඇතුළු වීමෙන් අනතුරුව දළදා පෙරහර හමාර වු බව වෙඩිල්ලකින් සංඛේතවත් කරයි.

පසුව පිළිවෙළට නාථ විෂ්ණු කතරගම සහ පත්තිනි දේවාල පෙරහර මාළිගා පරිශ්‍රයේ ඇති දේව සංහිඳ වෙතට පැමිණ නිළමේවරුන් සිවුදෙනා මුණගැසී පෙරහර ඉතාහොඳින් නිමවු බව ත් පසුදින සිදුවිය යුතු වෙනස්කම් ඇතුළු කරුණු සාකච්ඡා මුරට සහ දියට යන පිරිස් සම්බන්ධයෙන් මහා දේවාලයේ නිළමේවරයා ලබා දෙන විධානයන් ගෙන විසිර යාම ඉතිහාසගත සම්ප්‍රදාය බවද පැවසේ.

නමුත් ඊයේ (18) රාත්‍රියේ මෙම සම්ප්‍රදාය බිඳී ගිය බවක් වාර්තා වේ. මහදේවාලය හෙවත් විෂ්ණු දේවාලයේ බස්නායක නිළමේ මහේන් රත්වත්තේ කිල්ලට හසුවීම (සමිපතම ඥාතියකුගේ මරණයක්) හේතුවෙන් පළමු රන්දෝලි පෙරහරට නොපැමිණ තිබේ. ඔහු වෙනුවෙන් පෙරහර ගමනට සහභාගි කොටගෙන ඇත්තේ අලවතුගොඩ සමන් දේවාලයේ බස්නායක නිළමේ ජයම්පති හීන්කෙන්දය.

පෙරහර අවසානයේ සියළුම නිළමේවරු දේව සංහිඳට පැමිණෙන තුරු බලා සිටියද , කතරගම දේවාලයේ බස්නායක නිළමේ ගැමුණු වලිසුන්දර දේවසංහිඳට නොපැමිණ ජනාධිපති මන්දියරය අසලින් නැවත වතුරමල දෙසට හැරී කතරගම දේවාලය බලා ගමන් ගෙන තිබේ.

මෙය ඉතිහාසගත සම්ප්‍රදායක් බිඳ දැමිමක් මෙන්ම නිළමේවරයකු විසින් වැරදි පූර්වාදර්ශ ලබාදීමක් බව ජයම්පති හීන්කෙන්ද නිළමේවරයා ප්‍රකාශ කර සිටි.

“ සංහිදට පැමිණෙන සතර මහ දේවාල නිළමේවරු එතැනින් පිටව යන පිළිවෙතක් පවා තිබෙනවා . කතරගම දේවාලයේ නිළමේවරයා එම පිළිවෙත් සම්ප්‍රදායන් සියල්ල බිද දැමුවා. එය ඉතා නුසුදුසු ක්‍රියාවක්. මෙවැනි නිළමේවරුන් සඳහා නැවත තනතුරු ලබා දිමේදි ඔහු මෙතෙක් සම්ප්‍රදායන් ආරක්ෂා කර තිබෙනවාද නැද්ද යන්න පවා සැලකිල්ලට ගත යුතුයි. සමස්ථ බස්නායක නිළමේවරු ඔහු ගේ මෙම ක්‍රියාවට විරුද්ධයි. ..” යැයි ජයම්පති හීන්කෙන්ද ප්‍රකාශ කර සිටියේය.

මේ සම්බන්ධයෙන් විමසන කල කතරගම දේවාලයේ බස්නායක නිළමේ ගැමුණු වලිසුන්දර මෙසේ කීය.

“ මම මේ වෙද්දි තිස් හත් අවුරුද්දක් පෙරහරේ ගමන්කරනවා. සම්ප්‍රදායන් කැඩුවේ මම නෙවෙයි. විෂ්ණු දේවාලයේ බස්නායක නිළමේවරයායි. රත්වත්තේලා සම්ප්‍රදාය ඉගෙන ගන්න අවශ්‍යයි. පළවෙනි රන්දෝලි පෙරහරට මහදේවාලයේ බස්නායක නිළමේවරයා අනිවාර්යයෙන් සම්බන්ධ වෙන්න ඕනැ. ඔහුට පෙරහරට සහභාගි වෙන්න බැරිනම් සිවිල් පිට සංහිඳට ඇවිත් ඉන්න ඕනැ. ගෙදරකට යන්න නම් ගෙදර අයිතිකාරයා ඉන්න අවශ්‍යයයි. ඒ වගේ තමයි මහ දේවාලයේත්. නිළමේවරයා හෝ ඔහු නොමැති නම් ඊට සුදුසු කෙනා එතනට යොදවා තැබිය යුතුයි. රත්වත්තේ නිළමේවරයා නැතිනම් එතනට ඊලඟ සුදුස්සා ලංකාතිලකයෙ බස්නායක නිළමේවරයායි. නමුත් මෙතනට යොදවලා තිබුණේ පිටිසර දේවාලක් වන සමන් දේවාල බස්නායක නිළමේවරයෙක්. මම තමයි සතරමහා දේවාලවලින් ජ්‍යේෂ්ඨතම නිළමේවරයා. මම මොකටද සම්ප්‍රදායන් බිඳින කෙනෙක් ලඟට යන්නේ.“

“දළදා මාලිගාවේ බස්නායක නිළමේවරයා පවා පෙරහරේ ගමන්ගත්තේ මුව ආවරණය කරලා. නැට්ටුවෝ නැටුවේ මුව ආවරණ දාලා. නමුත් විෂුණු දේවාලයේ නිළමේවරයා වෙනුවට ගමන්ගත් පුද්ගලයා පෙරහරට මුව ආවරණයක් දැම්මේ නැහැ. ලෝකයේ වසංගතයක් තියෙද්දි අපි පෙරහර කරන්නේ එක අතකින් මාරයත් අනිත් අතින් දෙවියොත් අරගෙන. විශේෂයෙන්ම මේ වන විට විෂ්ණු දේවාලයේ නැටුම් කණ්ඩායම් තුනක් කොවිඩ් ආසාදිතයන් බවට හඳුනා ගෙන තිබෙනවා. එවැනි පසුබිමක් යටතේ විෂ්ණු දේවාලය මේ වන විට සෞඛ්‍ය නීති උල්ලංඝණය කරලා. යම් හෙයකින් පෙරහර නිමවු පසුව කොවිඩ් පොකුරක් නිර්මාණය වුණොත් ඊට සම්පූර්ණයෙන් ම වගකිව යුත්තේ විෂ්ණු දේවාලයයි.“

“මේ හේතුවත් සුදුසු පුද්ගලයකු යොදවා නොතිබීමත් කියන කාරණා මත මම සංහිදට ගියේ නැහැ තමයි.“

Exit mobile version