නායකයින්ගේ වැසිකිලිවල වතුර අදින පොහොට්ටු මන්ත්‍රීවරු ගැන වසන්ත යාපා කියයි!  

කවුරු මොනවා කිව්වත් හදිසි නීතිය ගෙනාවෙ මර්ධනය සඳහාම තමයි...  

wasantha-yaapa

හදිසි නීතිය සම්මත කරනු ලැබුවේ  එදිනෙදා ජන ජීවිතය පවත්වා ගැනිමටත්  සියලු පාර්ශවයන්ගේ ආරක්ෂාව හා රට තුළ සාමය ස්ථාපිත කිරීම සඳහා යැයි අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහනුවරට පැමිණි මොහොතේ කියා සිටියේය. අගමැති අවේ දළදා වැඳ මහා නායක හිමිවරුත් බැහැ දකින්නටය.

ඊට පෙරදින ජනපති ආවේය. ජනපති පැමිණි දා ඔහු බැහැ දිකින්නට නොපැමිණි  වසන්ත යාපා බණ්ඩාර සහ උදයන කිරිඳිගොඩ අගමැති දකින්නට ආවේය. අගමැති දකින්නට පැමිණි මේ පොහොට්ටු මන්ත්‍රිවරුන් දෙපළ හදිසි නීතියට එරෙහිව ඡන්දය ප්‍රකාශ කළා පමණක් නොව, පොහොට්ටුවේ අපේක්ෂකයා ලෙස රනිල් වික්‍රමසිංහව නම් කරන බව කියද්දී එහි සභාපති ජී.එල් පීරිස් සමග එක්ව ඩලස් අලහප්පෙරුමව රනිල්ට එරෙහි ජනාධිපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කළ කණ්ඩාමේ  ප්‍රබල භූමිකාවක් ද නිරූපණය කළේය.

අගමැතිට කැමති ජනපතිට අකමැති වසන්ත යාපා ඇතුළු පිරිස අගමැති කැමති හදිසි නීතියට අකමැති වුනේ ඇයි.
ලංකාසර වසන්ත යාපා විමසුවේය. ඔහු කීවේ මෙවැන්නකි.

ත්‍රාඩ දේශපාලනය –


“රටේ අද තිබෙන්නේ ත්‍රාඩ   දේශපාලන ක්‍රමයක්. මේ දේශපාලන ක්‍රමය අපි තරයේ හෙළා දකිනවා… හෘද සාක්ෂියට එකඟව මන්ත්‍රීවරයෙක් විදිහට කතා කරනවා නම්  මේ දේශපාලන ක්‍රමය ජනතා අපේක්ෂාව නොවන බව කිව යුතුයි. “

“පොදුජන  පෙරමුණ නියෝජනය කරන තැම් මන්ත්‍රීවරු අද පත්වෙලා ඉන්න නායකයන්ගේ ගඳ දේ සුවඳයි කියලා කියන්න.  පිරිසක් නායකයින්ගේ වැසිකිලිවල වතුර අදින තත්වයට පත්වෙලා. පොදුජන පෙරමුණ තැම් දේශපාලකයින්ට මේ හැසිරීම ලජ්ජා සහගතයි…“

“හෘද සාක්ෂියට එකඟව තීරණ ගන්න අපේ උත්සාහය මහ ජනතාවගේ පීඩනය අවම කිරීමට ගන්නා හොඳ ක්‍රියාමාර්ග වෙනුවෙන් පමණක් පක්ෂ වීමයි.  එබැවින් හදිසි නීතියට විරුද්ධව කොන්ද කෙලින් තියාගෙන ඡන්දෙ දෙන්න අපට හැකියාව ලැබුණා.“

හදිසි නීතියට අපි විරුද්ධ වුණේ ඇයි….?  

“අපව බලයට පත් කළ හැට නව ලක්ෂයක     ජනතාවගේ   හෘද සාක්ෂිය පිළිබඳ අප දැනුම්වත් විය යුතුයි. ජනතා කරපිටින් ගොස් පාර්ලිමේන්තුව තුළදී අපි ක්‍රියා කරන ආකාරය ජනතාව දැනගත යුතුයි. ඒ නිසා නොබියව හදිසි නීතියට එරෙහිව ඡන්දය ප්‍රකාශ කළා.“

“රටේ යුද්ධයක් බිහිසුණු ව්‍යසනයක් පවතින අවස්ථාවක හදිසි නීතිය ක්‍රියාත්මක කළ හැකියි.  මේ වෙලාවේ එවැනි තත්ත්වයක් රට තුළ නැහැ. ප්‍රචණ්ඩත්වය පාලනය කිරීම උදෙසා යැයි කියමින් හදිසි නීතිය සම්මත කර ගන්නේ කුමන පදනමකින්ද…?“

“රටේ පවතින සාමාන්‍ය නීතිය යටතේ ප්‍රචණ්ඩත්වය පාලනය කිරීම සඳහා පොලිසියේ ප්‍රමාණාත්මක සහයෝගයේ  අඩුවක් ඇත්නම් හමුදාව කැඳවීම සඳහා ජනාධිපතිවරයාට ප්‍රතිපාදන හිමිවෙනවා. නමුත් එවැනි තත්තවයක් රට තුළ නෑ.  හදිසි නීතිය සම්මත කරගනිමින් මේ සිදු කරන්නේ ජනතා මර්ධනයක්  නෙවෙයිද.?“

හදිසි නීතියෙන් විදේශ සංචිත වැඩි කළ හැකිද?

රට තුළ මේ මොහොතේ පවතින්නේ   විදේශ සංචිත පිළිබඳ අර්බුදයක්. හදිසි නීතියෙන් එවන් අර්බුදයක් පාලනය කරන්නේ කොහොමද?. හදිසි  නීතියෙන් තවදුරටත් සිදුවන්නේ විදේශ සංචිත පහළ යාමක් පමණයි.“

“අනික් කාරණය පිළිබඳ ඉතා සැකෙවින් විමසා බලන්න… මේ මොහොතේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ණය අපේක්ෂා කරමින් රජයේ කටයුතු කරනවා.    නමුත් ඒ සඳහාවන පළමු ගිවිසුම් සාකච්ඡාව හෝ මේ වන විට සම්පූර්ණ කර නැහැ පළමු ණය වාරික සාකච්ඡාවලදි රටේ පවතින හදිසි නීතිය අනිවාර්යෙන් ගැටලුවක් බවට පත් වෙනවා. මොකද ආණ්ඩුව පාර්ලිමේන්තුව තුළ ස්ථාවරත්වයක් රඳවා ගත්තත් රටේ මහජනතාව අතර මේ මොහොත වන විටත් පවතින්නේ නොසන්සුන් වාතාවරණයක්.“

හදිසි නීතිය නිසා ජාත්‍යන්තර මුල්‍ය අරමුදලෙන් ණය වාරික ප්‍රමාද විය හැකියි. “

“තුන්වැන්න මානව හිමිකම් කොමිසමේ පනස් එක් වැනි සැසිවාරය පැවැත්වීම සඳහා මේ වන විට සියලූ කටයුතු සූදානම්. නමුත් හදිසි නීතිය යොදා ගනිමින් ජනතාව මර්දනය කිරීමට ශ්‍රී ලංකාව කටයුතු කරන බව ඔවුන්ගේ සාකච්ඡාවට භාජනය වන බව පැහැදිලියි. එවැනි තත්ත්වයක දී මානව හිමිකම් කොමිසම මහජන අයිතිය පිළිබඳ මැදිහත් වන විට නැවතත් ලෝක ප්‍රජාව ඒ පිළිබඳ විමසිලිමත් වෙනවා.“

“සිවුවැන්න මේ මොහොත වනවිටත් විදේශ ප්‍රේෂණ පිළිබඳ රට තුළ පවතින්නේ අර්බුදකාරී තත්ත්වයක්. ලෝකයේ ඕනෑම රටකින් ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයින් දැනුවත් කිරීම සඳහා තානාපති කාර්යාල මහකොමසාරිස් කාර්යාල කටයුතු කරනවා.  ඔවුන් ලංකාවේ හදිසි නීති තත්වය පිළිබඳ සංචාරකයින් දැනුවත් කරනවා ඒ හරහා සිද්ධ වන්නේ විදේශ ප්‍රේෂණ ලංකාවට ගලා ඒම වැලකී යාමයි.“

මේ හදිසි නීතිය ගෙනාවෙ ජනතා මර්ධනයටම තමයි…

“මෙවැනි ගැඹුරු කාරණා පිළිබඳව ආණ්ඩුව අවධානය යොමු නොකරන්නේ ඇයි ?. මේ සියලු කාරණා මත නැවත නැවතත් රටේ සාමාන්‍ය ජනතාව තෙල් අර්බුදය ගැන, ආහාර අරබුදය ගැන, වගේම නිදහසේ ජීවත්වීමේ අයිතිය ගැන, නිදහසේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය අහුරා තිබෙනවා.“

“අපි හදිසි නීතියට විරුද්ධ වන්නේ හැට නවලක්ෂයක් ජනතාව අපට ජනවරම ලබාදුන්නු  පොදුජන පෙරමුණ විදිහට.  මේ මොහොතේ හදිසි නීතිය සම්මත කිරීම ට දැඩි විරෝධය දක්වන බව පක්ෂයේ සභාපති මහාචාර්ය ජී.එල්. පීරිස් සඳහන් කළා. හදිසි නීතිය හරහා මහජන පීඩාව මර්දනය කිරීමට අපි විරුද්ධයි.“

“ආණ්ඩුවක් විදිහට පොදුජන පෙරමුණු ආණ්ඩුව ඒ කාලෙත් වැරදි තීන්දු ගත්තා. ඒ බව අපි පිළිගන්න ඕනේ. හරිත කෘෂිකර්මාන්තය  ඇති කිරීම, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත යාම ප්‍රමාද කිරීම,   බදු මුදල් කප්පාදුව…  මේ සියලුම තීරණ වැරදි බව ආණ්ඩු පක්ෂයේ සිට තර්ක කරමින් අපි පෙන්වා දුන්නා. නමුත් ඇතැම් උද්දච්ච නායකයෝ සහ ලේකම්වරු මේ  යෝජනා සම්බන්ධයෙන් දැඩි මතයක සිටියා. පක්ෂයේ පිරිහෙන්න මූලිකම හේතු කාරණා වුනේ ඒවා. “

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


“අපි නැවත නැවතත් කියන්නේ සාධාරණ ප්‍රශ්න මත මිනිස්සු මහ පාරේ විරෝධය දක්වමින් අවිහිංසාවාදී ප්‍රජාතන්ත්‍රවාදී අදහස් ප්‍රකාශ කිරීමක් සිදු කරනවා. එවන් විරෝධයක් ආයුධවලින් ගිනි අවි වලින් මට්ටු කරමින් ඒ මිනිසුන්ගේ අයිතිය අහිමි කිරීමට අපි කොහෙත්ම එකඟ නැහැ. මේ හදිසි නීතිය සමස්ත රටේ හෝ සමස්ත ජනතාවගේ ආරක්ෂාව පිණිස ගෙන එන්නක් නොවේ හුදෙක්ම මෙය සම්මත කර ගනු ලැබුවේ ජනතා මර්දනය පිණිසමයි… “

Exit mobile version