දේශපාලන හිඟන්නන් කියන සේ  අරගලය රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණයක් නොවේ – අරගලකරුවෝ කියති

“අරගලයේ සැබෑ ඉල්ලීම් ඉටු කරනවා වෙනුවට අරගලකරුවන් ඉලක්ක කරගත් රාජ්‍ය මර්දනයක් දියත් වෙමින් පවතින බවත්,  අරගලය රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණයක් බවට හුවා දැක්වීම සඳහා ‘කුමන්ත්‍රණ භීතිය’ තම පංචායුධය කරගත් අවස්ථාවාදීන් බංකොළොත්, හිඟන දේශපාලන බත්බැලයන් කොන්ත්‍රාත් ක්‍රමයට කරළියට පැමිණ ඇති බවත් සර්වපාක්ෂික අරගලකරුවෝ නිවේදනයක් නිකුත් කරමින් අද ප්‍රකාශ කළහ.

නීතිය අවභාවිත කරමින් අරගලකරුවන් වෙත සිදුකරන අනීතික බලපෑම් සහ නෛතික වැටලීම් වහා නවතන ලෙස ජනාධිපතිවරයාටත්, ආණ්ඩුවටත් අදාළ නිවේදනය තුළින්  ඔවුහු බල කර සිටියහ.

ව්‍යවස්ථාපිතව පුරවැසියන් වෙත හිමිව ඇති මූලික හා දේශපාලන අයිතීන් සීමා කිරීමට හා වැළැක්වීමට දරන උත්සාහයන් ද ඔවුන් විසින් හෙළා දැක ඇත.

මාධ්‍ය මෙහෙයුම් හා හමුදා සහ පොලිස් බලය යොදවමින් මහජන මතය නමැති රබර් බෝලය යට ගැසීමට රජය උත්සාහ කරන බවත්, මර්දනයන් සඳහා දරන සියලු උත්සාහයන් පරාජය කිරීමට ගත හැකි නෛතික හා ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාමාර්ග ගැනීමටද සර්වපාක්ෂික අරගලකරුවන්  කටයුතු කරන බවත්  එම නිවේදනය ඔස්සේ  දන්වා තිබේ.


පසුගිය තෙමසක් වැනි කාලයක් තුළ මෙරට ජනතාව අත්කරගත් ඓතිහාසික, දේශපාලන ජයග්‍රහණ ලොව කිසිදු දේශපාලන ජයග්‍රහණයකට වඩා අතිශය වෙනස් හා පූර්ණත්වයට පත්වූවක් බව දක්වන සර්වපාක්ෂික අරගලකරුවන් දන්වා සිටින්නේ  පොදු අරගලයක් හරහා සමාජය විසින් පෙරළා දැමීමට උත්සාහ කරන ලද අසාර්ථක පාලන ක්‍රමය ම නැවත වටයකින් ගොඩනැගීමට පැවැති පාලන තන්ත්‍රය විසින් ක්‍රමයෙන් කටයුතු කරන බවය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


එසේ ම, පුද්ගල චරිත වටා නොව ජනතාවාදී ප්‍රවේශයක් හා ජයග්‍රාහී සැලසුම් හරහා නැවත පොදුජන අරගලය පණගන්වන තුරු පාලකයන් දෙස විමසිලිමත්ව බලා හිඳින ලෙසත්, ව්‍යාජ පෙළඹවීම්වලට හසු වී අරගලය පිළිබඳ ජනතාව තුළ පවතින විශ්වාසය පළුදු කර නො ගන්නා ලෙසත් ඔවුහු ඉල්ලා සිටිති.

 

Exit mobile version