දෙදින නිල සංචාරය අරඹමින් පකිස්තාන අගමැති ඉම්රාන් ඛාන් අද දිවයිනට…

පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් දෙදින නිල සංචාරයක් සඳහා අද දිවයිනට පැමිණෙන්නේය.

රෙදිපිළි හා ඇඟලුම්,   කෘෂි ආහාර, ඖෂධ, ක්‍රීඩා භාණ්ඩ වෙළෙඳ භාණ්ඩ,   මැණික් හා ස්වර්ණාභරණ, වාහන අමතර කොටස්, තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය, ඉදිකිරීම් ද්‍රව්‍ය හා ශල්‍ය උපකරණ යන අංශවල ව්‍යාපාරිකයින්ගෙන් සමන්විත ඉහළ පෙළේ ව්‍යාපාරික හා ආයෝජන නියෝජිත කණ්ඩායමක් ද පාකිස්තාන අග්‍රාමාත්‍යවරයා සමග   ශ්‍රී ලංකා සංචාරයට එක් වීමට නියමිතය.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ ඇරයුමකට අනුව කෙරෙන පකිස්තාන අගමැතිවරයාගේ මෙම සංචාරයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ   සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ   සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡාවලට එක්  වන බවත්, අනතුරුව ශ්‍රී ලංකා – පාකිස්තාන අග්‍රාමාත්‍යවරුන්ගේ ද සහභාගීත්වයෙන්   ද්විපාර්ශ්වික අවබෝධතා ගිවිසුම්වලට අත්සන් තැබීමට නියමිත බවත් විදේශ අමාත්‍යාංශ නිවේදනය කළේය.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


පාකිස්තාන අග්‍රාමාත්‍යවරයා මෙම වසරේ සිය රටෙන් බැහැර නිරත වන පළමු නිල සංචාරය මෙයය.   මෙම වසරේදී මෙරටට පැමිණෙන පළමු රාජ්‍ය නායකයා ද ඔහුය.  වර්ෂ 2016න් පසු පාකිස්තාන රාජ්‍ය නායකයෙකු හෝ     එරට කිසිදු ඉහළ පෙළේ රාජ්‍ය තාන්ත්‍රිකයෙකු මෙරට සංචාරයක නිරත වී නැත.

Exit mobile version