දීඝවාපියෙන් හමු වූ රන් කරඬු සහ සන්නස හෙළි කරන අතීත කතාව

සුසන්ත අමර බන්දු –

ඓතිහාසික දීඝවාපී  දාගැබ් වහන්සේ පිළිබඳව යළි අවධානයක් ඇති වී තිබේ. ඒ දාගැබ්වහන්සේගේ  දකුණු වාහල්කඩ ආසන්නයේ කළ කැණීමකින්  හමු වූ ධාතූන්වහන්සේලා හා රන් පතෙක කළ සන්නසක් සහිත කරඬුවක් හමුවීමත් සමගිනි.

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ කැණීම් අංශය කළ කැණීමක් මගින් සොයා ගත් මෙම පෞරාණික කරඬුව අම්පාර දිසාපති කාර්යාලයේ ආරක්ෂිතව තැන්පත් කර තිබිය දී  අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය සෙනරත් දිසානායකගේ අධීක්ෂණය යටතේ විවෘත වූ බව වාර්තා විනි.

සෙල් මුවා කරඬුව තුළ රනින් කළ කරඬු හතරක් හමු විය. ඒ කරඬු හතරෙහි නෙළුම්මල් හා සිරිපතුල් ලාංඡනය සටහන්ව තිබිණි. රන් කරඬු හතර සමග පළිඟු කරඬුවක් විය. ඒ සියල්ල අතර අතිශය වැදගත් ලේඛණයක් තිබිණි. එම ලේඛණය රන් පතෙක කළ සන්නසකි.


Deegawapiya
හමු වූ රන් කරඬු හා සා පුරා වස්තු

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ  අභිලේඛන සහ නානක විද්‍යා අංශයේ අධ්‍යක්ෂක නාමල් කොඩිතුවක්කු  එම රන් සන්නස කියවනු ලැබුවේය.

එහි අපර බ්‍රාහ්මී අක්ෂරයෙන් ලියා තිබූ ලේඛණය මෙසේය.

‘සිධ මහනකරජහ පුත මළිතිස රජහ සොවණ තුබේ’

‘යහපතක් වේවා! මහානාග (මහල්ලක නාග) රජුගේ පුත් මළතිස (කණිටතිස්ස)රජුගේ රන් කරඩුව’

ආචාර්ය නාමල් කොඩිතුවක්කුට මේ පිළිබඳව කරන පැහැදිලි කිරීම මෙසේය.

“ මේ සන්නසට අනුව මහල්ලකනාග කියන්නේ මේ ප්‍රදානයට අදාල රජුගේ පියාය. මහල්ලකනාග රජතුමා රට පාලනය කළේ ක්‍රිස්තු වර්ෂ 134 සිට 140 දක්වා කාලයේ.  ඒ රජුගේ පුත් කණිට්ඨතිස්ස රජතුමා.  මේ කරඬුව ප්‍රදානය කරනේ ඔහු.   මළිතිස හෙවත් කණිට්ඨතිස්ස  නාමය මෙහි කියැවෙනවා. මහාවංශය අනුව කණිට්ඨතිස්ස රජතුමා  ක්‍රිස්තු වර්ෂ 164 -192 තෙක් රජ රජ කළා.“

සීරුවෙන් අසා සිටිය යුතුය. මේ කරඬුවෙන් කියැවෙමින් ඇත්තේ   අදින් වසර 1800 පමණ එපිටින් වන  අතීත පවතකි.

කරඬු හමු වූ ස්ථානය

මෙම කැණීම හා ධාතූන්වහන්සේ සහිත කරඬුව විවෘත කිරීම සිදුවන්නේ පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය සෙනරත් දිසානායකයන් ගේ නිශ්චිත අධීක්ෂණය යටතේය. ඒ කැණීම් ස්වරූපය පිළිබඳ ආචාර්ය දිසානායක ලංකාසරට පැහැදිලි කළේය.

“දාගැබ අසල තිබුණා ගරා වැටුණු විශාල   ගඩොල් ගොඩක්. අපට පෙනෙන  හැටියට   ඒ ගඩොල් ගොඩ ක්‍රම දෙකකට එතෙන්ට එන්න පුලුවන් කම තිබුණා. “

“ 1840 හිටියා මඩකලපුවේ දිසාපතිවරයෙක්.  ඔහු දාගැබේ ගර්භයේ ගල් ගඩොල් කොල්ල කෑවා ඒ දවස්වල කළ ඉදිකිරීම්වලට.  ඔවුන්ගෙ කාලෙ හැදුණු වළක් එතන තිබුනා. ඒ වලට එක  එල්ලේම තමයි බිම ඔය කරඬුව තිබුණේ.“

“ වල හැදුනට පස්සෙ වල නිසා දාගැබේ ව්‍යුහයට ටිකක් දුර්වල වෙලා  ගර්භයේ   විශාල කොටසක් කඩාගෙන මළුවට ඇවිත්. ඒ කොටසෙ තමයි මේ ධාතූන්වහන්සේ සහිත කරඬු තිබුණේ. මේ කරඬුව  ධාතු ගර්භයේ තිබුණු කරඬුවක්. වාහල්කඩින් හමුවුණු එකක් නෙමෙයි. වාහල්කඩත් මේ කරඬුවත් අතර සම්බන්ධයක් නෑ.“ ආචාර්ය සෙනරත් දිසානයකයෝ කියති. “

කරඦුව හමු වූ ස්ථානයේ දුර රූපයක්..

හමුවන විට කරඬුව තිබුණෙ කොහොම ද? අපි ආචාර්ය සෙනරත් දිසානායකයන් විමසුවෙමු.

“ කරඬුව තිබුණෙ ගඩොල් ගොඩට හිර වෙලා . අපට හමුනේ  ගල් කරඬුවක්.   අප යෝජනා කළේ   සියලු දෙනා ඉදිරියේ   කරඬුව විවෘත කරන්න. මගේ උපදෙස් මත කරඬුව සීල් කරලා කච්චේරියට ගෙනත් ආරක්ෂිතව තැන්පත් කළා.  ඉන් පස්සෙ තමයි අපේ රසායන අංශයෙ නිලධාරීන් ගිහින් පිරිසිදු කළේ.

“ විවෘත කරන විට මුලින්ම  අප දුටුවෙ කරඬුව පස්වලින් පිරිලා ඇති ආකාරය.  එතන තිබුණා රන් පතින් කළ කරඬු 4 ක්. ඒ එක්කම පළිඟු කරඬුවක්. ඒ කරඬුවල තිබුණා නෙළුම් මල හා සිරිපතුල් ලාංඡන.  නෙළුම් මල හා ශ්‍රී පාද ලකුණ බුදුන් වහන්සේ සංකේතවත් කරනවා. එතැන ලැබුණු රන් සන්නසේ  තියෙන්නෙ කණිටු තිස හා මළු තිස රජවරුන් ගැන.  රජවරු ස්වකීය අනන්‍යතාවය සහිතව තැන්පත් කළ කරඬු. නිසැකවම මේ සර්වඥ ධාතුන්වහන්සේලා තමයි.“

මේ ධාතූන්වහන්සේ දැනට කච්චේරි භූමියේ සුරක්ෂිතව තැන්පත් කරලා තියනවා. සන්නස හා එක් ධාතූන්වහන්සේ සහිත කරඬුවක් අප ජනතාව වෙනුවෙන් තියා ගන්නවා. ඉතිරි ධාතූන් වහන්සේලා අප දීඝවාපී දාගැබෙහිම තැන්පත් කර මේ දාගැබ පිලිසකර කරනවා..

ආචාර්ය සෙනරත් දිසානායකයෝ කියති.

වර්ෂ  1986 දී දීඝවාපියේ බටහිර වාහල්කඩ කැණීමක් සිදුවිය. එහි දී රන් කරඬු තුනක් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ කැණීම් කණ්ඩායම් විසින් සොයා ගත්තේය. ඒ අතර වූ විශාල කරඬුව නිශ්චිත පුරාවිද්‍යා සාධක මත පිහිටා කාල නිර්ණය කළ හැකි විය. කරඬු අයත් වූයේ ක්‍රි.ව. 164 -192 දක්වා රජ කළ කණිට්ඨතිස්ස රජුගේ කාලයටය.

මෙම රන් කරඬු 03  තැන්පත් කර තිබුණේ විශේෂිත ගල් කරඬුවක් තුළය. රන් කරඬු හදා තිබුණේ තුනී රන් තහඩු තලා  ස්ථුපයක ස්වරූපයට හැඩ ගැන්වීමෙනි.  ස්ථූපයේ තිබිය යුතු පොසා, මුද්ධවේදිය, කුච්චවේදිය ආදී  උපාංග ද දක්වා තිබිණි. ඒ අතර රන් පත් ඉරුවක් විය.  ක්‍රි.ව 2 සියවසට අයත් බ්‍රාහ්මීය අක්ෂර වලින්  වූ ලිපිය කියවා තිබුණේ මෙසේය.

“නක මහරජහ පුත මලිතිස රජහ සොවණ තුබෙ“

දින කිහිපයකට පෙර හමුවූ කරඬුව සහිත රන් සන්නසෙහි ඇත්තේත් මෙය ය. අවස්ථා දෙකක දී ලැබෙන ඓතිහාසික තොරතුරු සාධනය කරන්නේ කණිට්ඨතිස්ස රජු විසින් යථාවත් කළ බව පෙනෙන මහා ථූප කර්මාන්තයක ස්වරූපය ය.

එහෙත් මේ මතුවී ඇත්තේ මේ දීඝවාපියේ මහා ගඩොල් කන්ද ජීවමාන පූජනීය වස්තුවක් බවට පත් කළ සර්වඥ ධාතූන්වහන්සේය. යුග ගණනාවක් පුරා මිනිසුන් වන්දනා කළේ මේ ගඩොල් ගොඩ  නොව, සෙල්මුවා කරඬුවක තිබී හමු වන මේ ධාතූන් වහන්සේ ය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


එබැවින් වටහා ගත යුත්තේ කරඬුවක බහා තබා මේ හමුවී ඇත්තේ  හුදු පුරාවස්තුවක් නොව, යුගාන්තර වන්දනාවට ලක් වන බෞද්ධයාගේ අති උත්තම අධ්‍යාත්මික සංකේතය බවය. ඊට ලැබිය යුතු නිසි ගෞරවය හිමි විය යුතු බවය.

 

 

 

Exit mobile version