දින 10ක් සංචාරණ සීමා පනවන්නැයි සෞඛ්‍ය අමාත්‍යංශය රජයට කියයි

ලබන 21 වැනිදා සිට 31 වැනිදා දක්වා කාලය තුළ රට සම්පූර්ණයෙන් වැසීමට නොහැකි නම් අවම වශයෙන් දිස්ත්‍රික්ක අතර සංචරණ සීමා පැනවීමට හෝ බස්නාහිර පළාත තුළ සංචරණ සීමා කිරීම පිළිබඳව සලකා බලන ලෙස සෞඛ්‍ය බලධාරීන් රජයෙන් ඉල්ලා ඇති බව වාර්තා වේ.

ඉදිරියේ එලඹෙන උත්සව සමයේ ජනතාව පාලනය කළ නොහැකි මට්ටමින් අනවශ්‍ය ගමන්බිමන්වල යෙදීමත් ඔවුන් එම ගමන්බිමන්වලදී සෞඛ්‍ය නිර්දේශවලට අනුකූල නොවන ආකාරයෙන් කටයුතු කිරීමත් නිසා කොවිඩ් වසංගතය වේගයෙන් පැතිරීමේ පවතින අවදානම සැලකිල්ලට ගෙන සෞඛ්‍ය අමාත්‍යංශ බලධාරීන් මේ පිළිබඳව කොවිඩ් වැළැක්වීමේ ජනාධිපති කාර්ය සාධක බලකා රැස්වීමේදී කරුණු පෙන්වා දී තිබේ.

කෙසේ වුවද රජය මේ සම්බන්ධයෙන් අවසන් තීරණයක් තවම ගෙන නොමැති අතර ඒ පිළිබඳව ඉදිරියේදීත් රජය හමුවේ කරුණු දැක්වීමට සෞඛ්‍ය අමාත්‍යංශ බලධාරීන් සූදානම් බව එම අමාත්‍යංශ ආරංචි මාර්ග සඳහන් කරයි.


පසුගිය දින කිහිප තුළ ද කොරෝනා රෝගීන් හමුවීමේ ප්‍රවණතාවක් බස්නාහිර පළාතේ දක්නට ලැබුණු අතර විශේෂයෙන් කතෝලික ජනතාව වැඩිපුර වෙසෙන ගම්පහ සහ කළුතර දිස්ත්‍රික්කවල තත්ත්වය ද මෙම තීරණ ගැනීමේදී සැලකිල්ලට ගත යුතු බව සෞඛ්‍ය අමාත්‍යංශයේ අදහස වී ඇත.

මේ වනවිට රෝගීන් වැඩිවන වේගය පානය නොකළහොත් රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා ප්‍රමාණවත් පහසුකම් ඉක්මවා යාමේ අවදානමක් ද නිර්මාණය විය හැකි හෙයින් මේ පිළිබඳව තීරණය කළ යුතු බව සෞඛ්‍ය බලධාරීන්ගේ අදහස වී තිබේ.

ඊයේ ද සෞඛ්‍ය අමාත්‍යංශයේදී සෞඛ්‍ය ලේකම මේජර් ජනරාල් වෛද්‍ය සංජීව මුණසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති රැස්වීමකදීද අමාත්‍යංශ බලධාරීන් මේ බව පෙන්වා දී ඇතැයි අමාත්‍යංශ ආරංචි මාර්ග සඳහන් කළේය.

අද පෙරවරුව වනවිට කොවිඩ් 19 වසංගත නිල තොරතුරුවලට අනුව බස්නාහිර පළාතෙන් පමණක් රෝගීන් 532ක් හමුවී ඇත. මේ අනුව අද පෙරවරුව වන විට ගත වූ දවස තුළ අලුතින් රෝගීන් 688ක් වාර්තා වී තිබේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මෙම තත්ත්වය මත මෙරට කොවිඩ් රෝගීන් සඳහා වෙන් කරන ලද ඇඳන් සංඛ්‍යාව මේ වනවිට සම්පූර්ණ වෙමින් පවතින අතර තවදුරටත් මේ වේගයෙන් ව්‍යාප්ත වුවහොත් නිවසේ තබා ප්‍රතිකාර කිරීමට සිදුවන තත්ත්වයක් පැවතිය හැකි වනු ඇතැයි ද මෙම ආරංචි මාර්ග අනතුරු ඇඟවීය.

Exit mobile version