“දැඩි අවදානම් දෙවන රැල්ල ආවොත් වගකීම දේශපාලන නායකයන් සහ ජනතාව අතේ”

කොරෝනා ප්‍රතිකාර පෙරමුණේම සිටින විශේෂඥ වෛද්‍යවරයෙක් අනතුරු අඟවයි

කන්දකාඩුවෙන් මතු වූ නව කොරෝනා පොකුර සමඟ රටේ දෙවන රැල්ලක් පිළිබඳ අවදානමක් පවතින බවත් රට යළිත් ලොක් ඩවුන් තත්ත්වයකට යනවාද නැද්ද යන්න පිළිබඳව වගකීම ජනතාවට සහ දේශපාලන නායකයන් අත මුළුමනින්ම පවතින බවත් කොවිඩ් 19 මර්දන ප්‍රතිකාර ලබා දෙන වෛද්‍ය කණ්ඩායමේ ප්‍රධානියකු ලෙස කටයුතු කරන අංගොඩ බෝවන රෝග පිළිබඳ ජාතික ආයතනයේ ප්‍රධාන කායික රෝග විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා අවධාරණය කරයි.

ඔහු මේ බව අවධාරණය කළේ ප්‍රවීන රූපවාහිනි මාධ්‍යෙව්දී චමුදිත සමරවික්‍රම සමඟ Truth with Chamuditha යූ ටියුබ් නාලිකාවට සම්මුඛ සාකච්ඡාවක් ලබා දෙමිනි.

එහිදී අදහස් දැක්වූ විශේෂඥ වෛද්‍යවරයා අවධාරණය කළේ දෙවන රැල්ලක් ආරම්භ වුවහොත් එය අපේ රටේ සෞඛ්‍ය දේහයට දරාගත නොහැකි ආකාරයේ එකක් වනු ඇති බවයි. එබැවින් ජනතාව සෞඛ්‍ය අංශ මගින් ලබා දී ඇති මඟ පෙන්වීම් ඒ අයුරින් ම ආරක්ෂා කළ යුතු බව දැඩි සේ අවධාරණය කළේය.


අපේ රටේ කොවිඩ් වසංගතය සම්බන්ධයෙන් හොඳ පාලනයක් තිබුණා. රජය යුධ හමුදාව සහ සෞඛ්‍ය අංශ ඉතා ක්‍රියාශිලිව නිවැරදිව වැඩ කළා. හොදින් පාලනය කළා. නමුත් හැම අංශයක්ම මුලින් තිබුණු අවධානය අඩු කළා. හැම දෙනාම ආරක්ෂාව ගැන සැලකිල්ලක් දැක්වූයේ නැහැ. ජනතාවත් බලධාරීනුත් එය සැහැල්ලුවට ගත්තා. දේශපාලන රැස්වීම් මේ දවස්වල පැවැත්වෙනවා. ඒවායේ කිසිදු ආරක්ෂාවක් නැහැ. රජය වගේම විපක්ෂ දේශපාලකයොත් මෙය සැහැල්ලුවට ගත්තා. මාධ්‍යයත් සැහැල්ලුවට ගත්තා. මෙම අනාරක්ෂිත දේශපාලන රැස්වීම් මාධ්‍යවල වාර්තා කරනකොට ජනතාවත් හිතනවා දැන් වසංගතයක් නැහැ අවදානමක් නැහැ යයි ද ඔහු චමුදිත නගන ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් ප්‍රකාශ කළේය.

යළි කන්දකාඩුවෙන් රෝගීන් මතුවීම . රජයේ හෝ ආරක්ෂක අංශවල හෝ සෞඛ්‍ය අංශවල වරදක් නොවන බවත් එය මෙම රෝගයේ ස්වාභාවික ආකාරයක් බවත් පෙන්වා දුන් වෛද්‍ය විජේවික්‍රම පවසන්නේ වඩාත් වැදගත් වන්නේ මෙම ස්වාභාවික තත්ත්වය මෙල්ල කිරීමට නම් අනිවාර්යයෙන්ම ජනතාවත් බලධාරීනුත් පිළිගත් සෞඛ්‍ය මඟ පෙන්වීම් තවදුරටත් අනුගමනය කළ යුතු බවයි.

“රෝග ලක්ෂණ නොපෙන්වන රෝගීන් සැලකිය යුතු පිරිසක් සමාජයේ සිටිය හැකියි කියන මතය මම පෞද්ගලිකව විශ්වාස කරන්නේ නැහැ. ඊට හේතුව මෙහෙම පිරිසක් ඉන්නවා නම් ඔවුන්ගෙන් කිහිප දෙනකුට හෝ රෝග ලක්ෂණ මතුවෙන්න ඕන. නමුත් එහෙම තත්ත්වයක් දැනට නෑ.

දැනට එහෙම රෝහල්වලට එන්නේ නෑ ලක්ෂණ සමඟ.
එහෙත් එයින් අදහස් වෙන්නේ නෑ අපට කිසිම අවදානමක් නෑ කියල. යම් හෙයකින් හෝ රෝග ආසාදිතයින් එකකු හෝ දෙදෙනකු හෝ සිටියේ නම් ඔවුන්ගෙන් පැතිරීමේ අවදානමක් තිබෙනවා. ඒ නිසා තමයි කියන්නේ දිගින් දිගටම ආරක්ෂිත ක්‍රියාමාර්ග දිගටම අනුගමනය කරන්න. සමාජ දුරස්ථභාවය, දෑත් පිරිසිදුව තබා ගැනීම සහ මුව ආවරණ නිසි ලෙස පැලඳීම හරහා මෙය බොහෝ දුරට මේ දැඩි අවදානම පහසුවෙන් පාලනය කරන්න පුළුවන්. නමුත් අද ඒ මූලික දේවල්වත් සිදුවන්නේ නෑ.

කන්දකාඩු සිදුවීම

කන්දකාඩු සිදුවීම පැහැදිලිවම අවදානමක්. රජය සහ යුධ හමුදාව මෙම ආසාදිතයන් සහ ඔවුන් සමඟ ගැටුණු අය හඳුනාගෙන මේ වනවිට නිරෝධායනය කරනවා.
කොහොම වුණත් මෙය ලොකු ප්‍රශ්නයක් වීම දක්වා වගකීම තිබෙන්නේ සමාජය අතේ. දැනට නම් ජනතාවගේ හැසිරීම බොහොම අනාරක්ෂිතයි. මේ අනාරක්ෂිත බව සමඟ ලොකු අවදානමක් තිබෙනවා.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


කොවිඩ් සම්බන්ධයෙන් වූ කාර්ය සාධක බලකාය පසුගිය මාසයක පමණ කාලයක් තුළ රැස්වී නොමැති වුවද වසංගතය සම්බන්ධයෙන් වූ තාක්ෂණික කමිටු සෞඛ්‍ය අද්‍යක්ෂ ජනරාල්වරයාගේ ප්‍රධානත්වයෙන් රැස් වූ බවත් කන්දකාඩු පළමු රෝගියා හමුවන්නට දින දෙකකට පමණ පෙර පවා සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා දිනකට සිදු කරන පරීක්ෂණ ප්‍රමාණය වැඩි කරන්නැයි උපදෙස් දුන් බවද වෛද්‍ය විජේවික්‍රම මෙහිදී සඳහන් කළේය.

Exit mobile version