දරුපැටවු රැසක් ජීවිත අනතුරක… පේරාදෙණිය ළමා රෝහලේ MRI යන්ත්‍රය මුලුමනින් අක්‍රීයවීම පසුපස ගසා කෑමක්?…

පුද්ගලික ආයතනයකට කෝටි ගණන් ගෙවා ප්‍රතිසංස්කරණය කළත් ප්‍රයෝජනයක් නෑ... කාමරයට සීල් තබා අමාත්‍යාංශය පරීක්ෂණයක් ඉල්ලයි...

පේරාදෙණිය සිරිමාවෝ බණ්ඩාරනායක ළමා රෝහල සඳහා රුපියල් කෝටි ගණනක් ව‍ෙයකර ලබාගන්නා ලද එම්.ආර්.අයි යන්ත්‍රය නිසි පරිදි නඩත්තු නොකිරීම හේතුවෙන් නැවත භාවිතයට ගත නොහැකි ලෙස අක්‍රීයවී ඇතැයි දැන ගන්නට තිබේ.

වසර තුනක් තිස්සේ විටින් විට අක්‍රීයවූ මෙම යන්ත්‍රය පෞද්ගලික ආයතනයක සහය ලබා ගනිමින් රුපියල් කෝටියකට ආසන්න මුදලක් ගෙවා ප්‍රතිසංස්කරණය කර තිබෙන නමුත් ඉන් කිසිදු ප්‍රයෝජනයක් අත් නොවුණු බව රෝහල් සේවකයෝ පවසති.

අක්‍රීයව පැවැති මෙම යන්ත්‍රය අලුත්වැඩියා කර 2018 පෙබරවාරී මස 15 දින අදාළ සමාගම විසින් බාරදුන් නමුත් පසුදින සිට එය යළිත් අක්‍රීය වූ බව විකිරණ අංශය රෝහල් අධ්‍යක්ෂ මගින් සෞඛ්‍ය අමාත්‍යාංශයට දැනුම් දී ඇත. පසුව යළිත් ක්‍රියාත්මක තත්ත්වයට පත්කර තිබෙන යන්ත්‍රයට 2018 වසරේ මාර්තු මස 12 දින රෝගියෙකු සමඟ ගෙනා ඔක්සිජන් සිලින්ඩරයක් ඇඳී ගොස් සිරවී තිබේ.


යන්ත්‍රය වටා ඇති චුම්භක ක්ෂේත්‍රයට ලෝහමය ද්‍රව්‍යය ඇද ගැනීමේ ශක්තියක් ඇති බැවින් මෙම සිලින්ඩරය ඒ තුළට ඇදී ගොස් තිබෙන අතර සිලින්ඩරය ඉවත් කිරීම සඳහා පෞද්ගලික සමාගමක් රුපියල් එක්කෝටි හතළිස් ලක්ෂයක මුදලක් ඉල්ලා තිබේ.

අදාළ සමාගම විසින් 2018 අගෝස්තු මස 09 දින එම සිලින්ඩරය ඉවත්කර තිබෙන නමුත් එය ක්‍රියාත්මක තත්ත්වයට පත්ව නොතිබියදී මුදල් ගෙවීම් සිදුකර තිබෙන බව වාර්තාවෙයි.

පළාත් 07 ක ළමා රෝගීන් වෙනුවෙන් විශේෂ ප්‍රතිකාර ලබාදීමට ඇති එකම රෝහල පේරාදෙණිය රෝහල වන අතර මෙම යන්ත්‍රය වසර තුනක් තිස්සේ වැඩි කාලයක් අක්‍රිය වීම නිසා එම්.ආර්.අයි පරීක්ෂණ වලට යොමුකෙරෙන ළමුන්ගේ පරීක්ෂණ පෞද්ගලික අංශයෙන් සිදුකර ගැනීමට රුපියල් 20000.00 ක පමණ මුදලක් ගෙවීමට දෙමව්පියන්ට සිදුව තිබේ.

රජයේ වියදමින් අදාළ පරීක්ෂණය සිදුකරන්නේ නම් ඒ සඳහා මධ්‍යම පළාතේ පහසුකම් ඇත්තේ මහනුවර ජාතික රෝහලේ පමණි. එහි පොරොත්තු ලේඛණයට අනුව පරීක්ෂණය සිදුකර ගැනීම සඳහා අවම තරමින් මාස 06 ක පමණ කාලයක් ළමුන්ට ඉන්නට සිදුවෙයි. යන්ත්‍රයේ ක්‍රියාකාරීත්වයට අවශ්‍යය හීලියම් වායුව නිසි ලෙස නොසැපයීම නිසා දැනට වසරක පමණ කාලයක සිට එහි චුම්භක බලය සම්පූර්ණයෙන්ම විනාශ වී ඇත්තේ නැවත එය ප්‍රයෝජනයට ගත නොහැකි පරිදිය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේවන විට එම්.ආර්.අයි යන්ත්‍රය ඇති කාමරයට සීල් තබා තිබෙන අතර මේ සම්බන්ධව කළ විමසීමකදී රෝහල් අධ්‍යක්ෂ සරත් වීරබණ්ඩාර  පැවසුවේ සෞඛ්‍ය අමාත්‍යාශයෙන් මගින් මේ පිළිබඳ පරීක්ෂණයක් ඉල්ලා තිබෙන බවයි.

Exit mobile version