තෙල්දෙණිය අධ්‍යාපන කාර්යාලය චක්‍රලේඛ උල්ලංඝණය කර මුරකරුවන් 44කට ලක්ෂ 65ක් ගෙවලා…

මධ්‍යම පළාතේ තෙල්දෙණිය අධ්‍යාපන කොට්ඨාසයේ කම්කරු හා මුරකරු සේවයේ නියුක්ත පුද්ගලයින් 44 දෙනෙකුට රුපියල් හැටපන් ලක්ෂ හැත්තෑ දෙදහස් හයසිය හැත්තෑ හතක මුදලක් (6572677.00) තෙල්දෙණිය අධ්‍යාපන කාර්යාලය    අධ්‍යාපන අමාත්‍යාංශ චක්‍රලේඛණ උල්ලංඝනය කරමින් ගෙවා තිබෙන බව විගණන විමසුමකින් හෙළිව තිබේ.

අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරයා විසින් දුෂ්කර හා අතිදුෂ්කර දීමනා ගෙවීමට අදාළව 2005 ජනවාරි 18 දින නිකුත් කළ අංක 2005/02 දරන චක්‍රලේඛණය උල්ලංඝනය කරමින්  2005 සිට 2022 ජූලි මස දක්වා වසර 17 ක කාලයක් මෙම ගෙවීම් සිදුකර තිබෙන බව හෙළිව ඇත.

මෙම ගෙවීම් සිදුකර තිබෙන්නේ 2019 ඔක්තෝම්බර් මාසයට පසු විශ්‍රාම ගත් හා දැනට සේවයේ නියුක්ත කම්කරු හා මුරකුරු සේවකයින් සඳහා බවත් 2005 සිට 2019 ඔක්තෝම්බර් දක්වා කාලය තුළ අදාළ පාසල් වල සේවය කර විශ්‍රාම ගත් සේවකයින් සඳහා චක්‍රලේඛණයට පටහැනිව ගෙවනු ලැබූ මුදල තහවුරු කර ගැනීමට අවශ්‍යය තොරතුරු තෙල්දෙණිය කළාප අධ්‍යාපන බලධාරීන් විගණනයට ලබා නොදුන් බවත් ආදළ වාර්තාවේ සඳහන් වෙයි.

දුෂ්කර හා අතිදුෂ්කර පාසල් වල ගුරු හිඟය පියවීම සඳහා ගුරුවරුන් බෙදා හැරීම විධිමත් කිරීම හා එවැනි පාසල් වල සේවය කරන ගුරුවරුන්ට හා විදුහල්පතිවරුන්ට මූල්‍යමය දිරි ගැන්වීමක් ලබාදීම අරමුණු කර ගනිමින් අධ්‍යාපන අමත්‍යාංශ ලේකම්වරයා 2005 වසරේදී නිකුත් කළ චක්‍රලේඛණයට අනුව විදුහල්පතිවරයෙකු හා ගුරුවරයෙකුට අති දුෂ්කර පාසලක සේවය කරත්දී රුපියල් 2500.00 ක දීමනාවක් ද දුෂ්කර පාසලක සේවය කරත්දී රුපියල් 1500.00 දීමනාවක්ද ගෙවනු ලැබේ.


එම දීමනාව ශිල්පීය නොවන සේවය ලෙස නම්කර තිබෙන පාසල් මුරකරු හා කම්කරු සේවකයින්ට ලබා ගැනීමේ හැකියාවක් නොමැති බව චක්‍රලේඛණය මගින් පැහැදිලිව දක්වා තිබියදී තෙල්දෙණිය කලාප අධ්‍යාපන කාර්යාලය මගින් රුපියල් 6572677.00 ක අදාළ ගෙවීම් සිදුකර තිබෙන බව විගණන විමසුවේදී හෙළිව තිබේ.

විශේෂ දීමනාවක් ලබා ගැනීමට හිමිකම් තිබෙන නිලධාරීන් එම දීමනාව ලබාදෙන ලෙස ඉල්ලීමක් කළ යුතු වුවත් තෙල්දෙණිය කළාපයේ දුෂ්කර හා අතිදුෂ්කර දීමනා ලබාගෙන තිබූ විදුහල්පතිවරු හා ගුරුවරු මෙන්ම චක්‍රලේඛණයට පටහැනිව ගෙවීම් කර තිබූ ශිල්පීය නොවන සේවකයින් අදාළ ගෙවීම් ලබා ගැනීම සඳහා කිසිදු ඉල්ලීමක් කර නොතිබූ බවද විගණනයේදී නිරීක්ෂණය වී ඇත.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මහනුවර පිහිටි ජාතික විගණන උපකාර්යාලය මගින් සිදුකර තිබෙන මෙම විගණන විමසුම අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත යොමුකර තිබෙන අතර එහි පිටපත් මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම්,මධ්‍යම පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ,තෙල්දෙණිය කළාප  අධ්‍යාපන අධ්‍යක්ෂ වෙත යොමුකර තිබේ.

Exit mobile version