තවත් සංදර්ශනකාරයන් පොලිස්පති තනතුරට එපා…

පොලිස්පති පත් කිරීම ගැන ජනපතිගෙන් නියෝගයක්

පොලිස්පති තනතුර සඳහා සංදර්ශනකාරයන් තමන්ට අවශ්‍ය නොමැති බවත්  පොලිස්පති ධුරයේ ස්ථිර කිරීම සඳහා පොලිසියේ සිටින ජ්‍යෙෂ්ඨත්වයෙන් ඉහළම පුද්ගලයා නමි කිරීමට අදාළ කටයුතු යොදන ලෙසත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ   අදාළ බලධාරීන්ට නියෝග කර ඇති බව වාර්තා වේ.

 ජනාධිපතිවරයා මේ බව පවසා ඇත්තේ විවිධ දේශපාලකයන් හරහා පොලිස්පති ධුරයේ ස්ථීර කිරීම සඳහා තවත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් ගේ නම් යෝජනා කරන තත්ත්වයක් නිර්මාණය වී ඇති පසුබිමක් තුළය. පාස්කු ප්‍රහාරයෙන් පසුව වැඩ තහනම් කිරීමකට ලක්කර සිට පසුගිය මාර්තු මාසයේ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර  විශ්‍රාම ගියද  ඒ වෙනුවට පත් කෙරුණු වැඩබලන පොලිස්පති ලෙස කටයුතු කළේ සී.ඩී වික්‍රමරත්නය. ඔහු එම තනතුර 19 වැනි සංශෝධනය යටතේ ජනාධිපකිවරයා විසින් පොලිස්පති ධුරයට යෝජනා කිරීමෙන් පසුව ව්‍යවස්ථාදායක සභාව මඟින් අනුමත කළ යුතුව තිබුණද එය එසේ නොවූ අතර මෙතෙක් ඔහු වැඩබලන පොලිස්පති ධුරයේම ක්‍රියා කළේය.

20 වැනි සංශෝධනයට අනුව පොලිස්පතිවරයා පත් කිරීමේ දී ජනාධිපතිවරයා විසින් නම් කරනු ලබන පුද්ගලයා වෙත පාර්ලිමේන්තු සභාවේ අනුමැතිය ලබා ගත යුතු වන අතර මේ දිනවල ස්ථිර පොලිස්පතිවරයකු පත් කිරීම සම්බන්ධයෙන් ඉහළ මට්ටමේ කතාබහක් ඇතිව තිබේ.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මෙම පසුබිම මත ඇතැම් දේශපාලකයන් විවිධ නම් මේ සඳහා යෝජනා කරන බව සඳහන් වන අතර මේ සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමින් ජනාධිපතිවරයා සඳහන් කර ඇත්තේ ජ්‍යෙෂ්ඨත්වය අනුව දැනට පොලිසියේ ඉහළින් සිටින නිලධාරියා ගේ නම පොලිස්පති ධුරයේම ස්ථිර කිරීමට අදාල කටයුතු සලසන ලෙස බව සඳහන් වේ.

Exit mobile version