ඩොලර් දෙකට ගන්න පුළුවන් කොවිඩ් එන්නත ආණ්ඩුව වැඩි ගාණට චිනෙන් සහ රුසියාවෙන් ගන්න හදනවා

ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුබද්ධව ක්‍රියාත්මක වන කොවැක්ස් සංවිධානය විසින් දෙසැම්බර් 07 වන දිනට පෙර කෝවිඩ් එන්නත ලබාගැනීමට ලියාපදිංචි වන ලෙස දැනුම් දුන්නත් වත්මන් ආණ්ඩුව ඒ ගැන කිසිදු සැලකිල්ලකින් තොරව ක්‍රියා කරමින් සිටින බව සමගි ජනබලවේග පාර්ලිමේන්තු මන්ත්‍රි පාඨලී චම්පික රණවක මහතා පවසයි.

දැනටමත් දුගී යැයි හඳුනාගත් රටවල් 90 කට ආසන්න ප්‍රමාණයකට කෝවිඩ් එන්නත නොමිලේ ලබාදීමේ කටයුතු සිදුකරගෙන යමින් සිටින බව අපේ වෛද්‍ය විශේෂඥයින් විසින් ද තහවුරු කර තිබෙන නමුත් මේ සම්බන්ධයෙන් වත්මන් ආණ්ඩුව කිසිදු උනන්දුවක් නොදක්වන බවද චම්පික රණවක මහතා සඳහන් කරයි.

කෝව්ඩ් අර්බුදය හමුවේ වත්මන් ආණ්ඩුවේ ක්‍රියා පිළිවෙත පිළිබඳව අදහස් දක්වමින් ඒ මහතා වැඩි දුරටත් පවසා සිටියේ,


“කෝවිඩ් වසංගතය සඳහා දැනට ලෝකය පුරා 200 කට ආසන්න එන්නත් ප්‍රමාණයක් සොයාගෙන තිබෙනවා. මෙයින් එන්නත් ගණනාවක් දැන් පර්යේෂණ මට්ටමෙන් ඔබ්බට ගොස් රටවල් සඳහා ලබාදෙමින් ඉන්නවා. ඒවාට ජාත්‍යන්තර අනුමැතිය, ප්‍රමිතිය හා සහතිකය ලැබිල තියෙනවා. එවැනි තත්ත්වයක් තුළ ධම්මික පැණිය පිටිපස්සෙ, එහෙමත් නැත්නම් ගංජ පැණිය පිටිපස්සෙ දුවයමින් ජනතාව මුලා කරමින් හිටපු අයට දැන් ඒවයෙ බොරුව වංචාව ඒ පුද්ගලයින්ගේ තත්ත්වය හෙළිදරව් වෙලා තියෙනවා. මේව මේ, කොරෝනා ගරා යක්කු ටික දේශීය හෙළ වෙදකමට කරපු සහගහන අපරාධ. එහෙම තියෙද්දිත් ජාත්‍යන්තර ප්‍රමිතියෙන් යුතු එන්නත් ආණ්ඩුව ලබානොගැනීමට ක්‍රියා කරන්නේ ඇයි කියන ප්‍රශ්නය තියෙනවා.

අපට වඩා විශාල අපට වඩා කීප ගුණයක් ජනගහනය ඉන්න ඉන්දුනීසියාව ඩොලර් 1.64 කට එක එන්නතක් (ඇස්ට්‍රා සෙනෙකා එන්නත (AZ)) ලබාගැනීමට කටයුතු කරනව කියල අපි දැක්ක. ගබඩා කිරීමේ කටයුතුත් එක්ක මේක ඩොලර් 2 කට අපට ලබාගන්න පුළුවන් කියල අපේ විද්‍යාඥයෝ, මේ පිළිබඳ විශේෂඥයෝ පළකරල තියෙන අදහස්වලින් පේනවා. ඒතකොට අපිට මේ මුළු රටේම මිලියන 20 ක් වෙච්ච ජනතාවට මේක ලබාදෙන්න යන්නෙ ඩොලර් මිලියන 40 යි. ඒ කියන්නේ රුපියල් මිලියන 8000 ක් පමණ. අර විල්මා සීනි ගණුදෙනුව හරහා අපේ ජනතාවගේ කහට කෝප්පෙන් ගහපු ගාණ ඊට වඩා වැඩියි.

මහ බැංකු වංචාව වගේ දහගුණයක මංකොල්ලයක් මේ සීනියි පොල්තෙලුයි ගණුදෙනුවෙන් ගහල තියෙනවා. ඒ අතරේ ලෝක බැංකුවෙන් ණය ඉල්ලනවා එන්නත ගන්න.

එමෙන්ම අපිට වාර්තා වෙනවා වත්මන් ආණ්ඩුව ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුබද්ධ කොවැක්ස් සංවිධානය මගඇරල කෝවිඩ් එන්නත රුසියාවෙන් හෝ චීනයෙන් ලබාගන්න කටයුතු කරමින් සිටින බව. රුසියාවේ හා චීනයේ එන්නත්වල ප්‍රමිතිය සමහර විට ජාත්‍යන්තරව සහතික වෙලා තියෙන්න පුළුවන්.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


නමුත් අපිට අවශ්‍යයි ලෝක සෞඛ්‍ය සංවිධානය වැනි තැනකින් ජාත්‍යන්තර සහතිකයක් මේව ලබාගන්න. නැත්නම් මේවත් ධම්මික පැණිය වගේ වෙන්න පුළුවන්. ඇන්ටිජන් වංචාව වගේ වෙන්න පුළුවන්. ඒ වගේම සැනිටයිසර් වංචාව වගේ වෙන්න පුළුවන්.
අද වන විට කොරෝනා ගරානා යකා දිගටම ආවේශවී නටාගෙන යනවා. අහිංසක ජනතාව කෝටි දෙකක් කොරෝනා වසංගතයෙන් දුක් විඳිද්දි අපගේ විදේශ රටවල ජීවත්වන ජනතාව ලක්ෂ තුනක් පමණ මව්බිමට එන්න ක්‍රමයක් නැතිව මහපාරවල් වල දහදුක් විඳිද්දි කොරෝනා ගරානා යකා ආණ්ඩුවේ නායකයින්ගේ සරණින් ප්‍රකෝටි ගණන් සල්ලි උපයන්න කටයුතු කරනවා.”

Exit mobile version