ඩඩ්ලි සිරිසේන කෘෂි ආර්ථික ඝාතකයෙක්… ඔහුගේ බොරු පිළිගන්න එපා – එක්සත් සහල් නිෂ්පාදකයින්ගේ සංගමය

සහල් මිල පාලනය කරන්න ඩඩ්ලි ආණ්ඩුව නොවන බව එක්සත් සහල් නිෂ්පාදකයින්ගේ සංගමය කියයි...

මනම්පිටිය නිමල් ජයරත්න  – 

රටේ සහල් මිල තීරණය කළ යුත්තේ ඩඩ්ලි සිරිසේන  නොව ආණුඩුව බවත්  ඩඩ්ලි සිරිසේන ආණ්ඩුව නොවන බවත්,  එක්සත් සහල් නිෂ්පාදකයින්ගේ සංගමයේ සභාපති මුදිත් පෙරේරා මහතා සඳහන් කළේය. ඔහු ප්‍රකාශ කලේ ඩඩ්ලි සිරිසේන යනු බොරුකාර කෘෂි ආර්ථික ඝාතකයෙක් බවය.

ඔහු මේ බව සඳහන් කළේ අද (19) සවස පොලොන්නරුව ඕනෑගම ප්‍රදේශයේ දී විශේෂ මාධ්‍ය සාකච්ඡාවක් කැඳවමිනි.

ඩඩ්ලි සිරිසේන  ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ හිතවතා විය හැකි නමුත් මෙවැනි ප්‍රසිද්ධ ප්‍රකාශ රකමින් සහල් මිල පාලනයට ව්‍යාපාරිකයෙකුට ඉඩ නොදෙන ලෙස ඉල්ලා සිටින බව කී  එක්සත් සහල් නිෂ්පාදකයින්ගේ සංගමයේ සභාපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කලේ   ඩඩ්ලි සිරිසේන    හාල් මිල පාලනය කරන කාලය, අපේ  සංගමය අවසන් කරන බවය.
පොළොන්නරුවේ ප්‍රධාන සහල් ‍ව්‍යාපාරිකයින් වන ඩඩ්ලි සිරිසේන, සිරිපාල ගම්ලත්, මිත්‍රපාල ලංකේශ්වර යන තිදෙනා දිනකට සහල් අලෙවියෙන් පමණක් කෝටි දහයකට ආසන්න ලාභයක් උපයන බවද මුදිත පෙරේරා පෙන්වා දුන්නේය.


මෙම  මාධ්‍ය සාකච්ඡාවේදී වැඩිදුරටත් අදහස් දැක්වූ මුදිත්  පෙරේරා මහතා මෙසේද කීය.

“ඩඩ්ලි සිරිසේන මහතා කියනවා හෙට ඉඳලා නාඩු සහල් තොග වශයෙන් දෙන්නෙ දෙසිය 218 කියලා. ලංකාවේ  නාඩු සහල් මිල උපරිම දෙසිය විස්සයි. එයා කියනවා තොග දෙන්නේ රුපියල් 218 යි කියලා. 218 ට තොග අරන් තොග වෙළෙන්දා හෝ සිල්ලර වෙළෙන්දට රුපියල් 2 ක ලාභයක් තියලා හාල් විකුණන්න    විදිහක් නෑ. 218 තොග දෙනවා කියන්නේම  ඔහු විසින් පොලඹවනවා සිල්ලර වෙළෙන්දා  මේ සහල් පාලන මිල ඉක්මවා අලෙවි කරන්න කියලා. හාල් කිලෝ එකකට රුපියල් දෙකක් තියාගෙන සිල්ලර වෙළෙන්දාට බැහැ ප්‍රවාහන වියදමවත් පියවා ගන්න. අඩුම තරමේ සිල්ලර වෙළෙන්දාට රුපියල් පහක ලාබයක් වත් තිබ්බොත් තමයි පාරිභෝගිකයාට මේ සහල් කිලෝව සහතික මිලට  ගන්ඩ හැකියාව තිබෙන්නේ.

ඒ නිසා ඩඩ්ලි සිරිසේන මහතා ප්‍රමුඛ මහා පරිමාණ සහල් ව්‍යාපාරිකයන්ට අපි කියනවා කරුණා කරලා රුපියල් 2 ලාභය වෙනුවට අඩුම තරමේ රුපියල් 5ක ලාභයත් තියෙන පරිදිවත් මේ මිල සංශෝධනය කරන්න කියලා.

ඒ වගේම බරපතළ  කාරණය තමයි පහුගිය කාලවල මේ මහා පරිමාණ  ව්‍යාපාරිකයින් ලංකාව  පුරා සහල් තොග බෙදාහැරියේ රුපියල් 240, 260, 270,  යන මිල ගනන්වලට. අපි මේ කියන නාඩු සහල් කිලෝවක් රුපියල් 215 ට දුන්නත් ඔය මහා පරිමාණ ව්‍යාපාරිකයන් තුන්දෙනාට දවසකට කෝටි තුන බැගින් රුපියල් කෝටි නවයක, දහයක ලාභයක් තිබෙනවා.

නාඩු හාල් එහෙම රුපියල් දෙසිය පහලවකට දෙන්න පුළුවන්කම තියෙද්දී තමයි ඔය මහා පරිමාණ ව්‍යාපාරිකයෝ රුපියල් 240, 250 ට 260, සහල් දෙන්ඩ කටයුතු කළේ. එහෙම හාල් දීලා මේ මහා පරිමාණ ව්‍යාපාරිකයන් තුන්දෙනා දවසකට ජනතාවගෙන් රුපියල් කෝටි ගණන්  කොල්ල කාලා තියෙන්නෙ.

ඩඩ්ලි සිරිසේන මහතාත් මාධ්‍ය සාකච්ඡාවේදී කිව්වා එයා දවසකට හාල් කිලෝ ලක්ෂ හතරක් වෙළඳපොළට මුදාහරිනවා කියලා. එතකොට එක හාල් කිලෝවක්  රුපියල් 50 කින් වැඩි කරොත් දවසකට කෝටි හතරක් විතර එයාට ලාභ එනවා. මෙච්චර ආර්ථික අර්බුද තියෙද්දි ජනතාවගෙන් පහුගිය දින 10 ය පුරා මේ මහා පරිමාණ ව්‍යාපාරිකයෝ සහල් ලබාදීලා අනවශ්‍ය ලෙස රුපියල් කෝටි 500ක් විතර  කොල්ල කාලා  තිබෙනවා. අනවශ්‍ය ලාභයක් ලබා ගැනීම් ගැන ආණ්ඩුවේ වහාම අවධානය යොමු කරන්න කියලත් අපි ජනාධිපතිවරයාගෙන්  ඉල්ලා හිටිනවා.“ යයිද මුදිත පෙරේරා   සඳහන් කළේය.

තවද ඔහු මෙසේත් කීවේය.

“අනිත් එක තමයි ඩඩ්ලි සිරිසේන   පිළිගන්නවා පාරිභෝගික ආරක්ෂණ පනතේ  විධිවිධාන උල්ලංඝනය කළා කියලා. හේතුව එයා පාලනය මිල ඉක්මවලා සහල් අලෙවි කිරීම. ඒ වගේම ඩඩ්ලි සිරිසේන  කියනවා කෝටි 12ක් වටිනා ගුවන් යානයක් තියෙන සහල් මෝල ව්‍යාපාරිකයෙක් පහුගිය සතිවල රුපියල් දෙසිය හැත්තෑවකට හාල් විකුණුවා කියලා. ඔන්න  ඩඩ්ලි සිරිසේන මහතා මිත්‍රපාල මහතාත්  පිළිගන්නවා රුපියල් 260,ට 270 ට පහුගිය කාලවල හාල් වික්කා කියලා. “

“දැන් අපි කියනවා පාරිභෝගික සේවා අධිකාරියට මේ ප්‍රකාශය  පදනම් කරගනිමින් කරමින් ඒ අයට නඩු පවරන්න කියලා. එන්න එපා අහිංසක සිල්ලර කඩ හිමි වටලන්න. එන්න එපා අහිංසක සිල්ලර ආයතන වටලන්න.  එන්න එපා අහිංසක පොඩි මෝල් හිමියෝ වටලන්න. පාරිභෝගික සේවා අධිකාරිය මේ දින දහයට තුළ වැටලීම් කළේ අහිංසක කඩ හිමියෝ,  කුඩා මෝල් හිමියෝත් පමණයි .අනිත්  කාරණය ඩඩ්ලි සිරිසේන මහතා සහ මහා පරිමාණ හාල් ව්‍යාපාරිකයෝ ප්‍රකාශයක් කළා ඉදිරි මාස තුන කාලය තුළ මේ මිලට සහල් වෙළෙඳ පොළට ලබා දෙනවා කියලා. “

“අපි ආණ්ඩුවට කියනවා මේ කතා විශ්වාස කරන එපා කියලා, ඩඩ්ලි සිරිසේන මහතා අන්තිමට මයික් ඉදිරියට ඇවිල්ලා කිව්වේ රුපියල් එක 115ට හාල් දෙනවා කියලා. එහෙම කිව්ව ඩඩ්ලි සිරිසේන මහතා මාස අටකට පස්සේ මයික්   ඉස්සරහට මතුවෙලා හාල් කිලෝ එක රුපියල් දෙසිය විස්සකට දෙනවා කියලා කියනවා .ඔය ඩඩ්ලි  සිරිසේන මහත්මා ඊළඟට මයික් ඉස්සරහයින් මතුවෙන්නේ හාල් කිලෝ එකක් රුපියල් 340 දෙනවා කියලා.“

“එනිසා මේ කතාව විශ්වාස කරන්න එපා. පාරිභෝගික ජනතාවගෙන් ඉල්ලනවා සුදු කැකුළු හාල් කිලෝ එකක්  රුපියල් 210 වඩා ඉක්මවලා ගන්න එපා කියලා. නාඩු සහල් කිලෝ එකක් ගන්න එපා රුපියල් 220  ඉක්මවලා. සම්බා සහල් කිලෝ එකක් ගන්න එපා රුපියල් 230 ඉක්මවලා. ඒ වගේම කීරි සම්බා කිලෝ එකක් ගන්න එපා රුපියල් දෙසිය 260 ඉක්මවලා .ඒ මිලට වඩා කවුරු හරි වැඩියෙන් අලෙවි කරනවානම් වහාම අදාළ  පාරිභෝගික සේවා අධිකාරිය දැනුවත් කරන්න කියලා ඉල්ලීමක් කරනවා.“

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


“ඒ වගේම  පාරිභෝගික ජනතාවගේ මම ඉල්ලීමක් කරනවා හැකි සෑම වෙලාවකම කුඩා සහල් මෝල් ව්‍යාපාරිකයින් සහල් මිලට ගන්න කියලා. පසුගිය කාලය පුරාම ඔබව  කොල්ල කාපු හාල්  කොල්ල කරුවන්ගෙන්, කෘෂි ආර්ථික ඝාතකයින්ගෙන් හාල් මිලට ගන්න එපා කියලා මම කියනවා.“ යැයිද මුදිත පෙරේරා වැඩිදුරටත් කීවේය.

Exit mobile version