ජොනීට එරෙහි සතොස නඩුව නීතියට පටහැනි බව මහාධිකරණය දන්වයි

අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු තිදෙනෙකුට එරෙහිව සතොස සේවකයින් 153 දෙනෙකු දේශපාලන කටයුතු සඳහා යොදා ගැනීමේ චෝදනාව යටතේ වන නඩුව පවරා ඇති ආකාරය නීතිවිරෝධී බව කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා අද (15) තීන්දු කළේය.

අල්ලස් කොමිසම විසින් පවරා තිබූ එම නඩුවට එරෙහිව ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඉදිරිපත් කළ ප්‍රතිශෝධන පෙත්සමක් පිළිගනිමින් කොළඹ මහාධිකරණ විනිසුරුවරයා විසින් මෙම තීන්දුව ලබාදුනි.

2010 වසරේ සිට 2014 වසර දක්වා කාලසීමාව තුළ අමාත්‍යවරයෙකු ලෙස කටයුතු කරමින් සතොස ආයතනයේ සේවය කළ සේවකයින් 153 දෙනෙකු ඔවුන්ගේ නිල රාජකාරිවලින් ඉවත්කර දේශපාලන ක්‍රියාකාරකම්වල යෙදවීම තුළින් රජයට රුපියල් කෝටි හතරක පාඩුවක් සිදුකළේ යැයි මෙහිදී චෝදනා කර තිබුණි.


එම නඩුව ගොනු කිරීමේදී අල්ලස් කොමිසමේ කොමසාරිස්වරුන් තුන් දෙනා ලබාදුන් ලිඛිත අනුමැතිය එම කොමිසම විසින් අධිකරණය හමුවේ ගොනුකර නොමැති හෙයින් එය විභාග කිරීමට අධිකරණයට බලයක් නොමැති බවත් ඒ අනුව ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා නිදහස් කරන ලෙසත් ඔහුගේ නීතිඥවරු විසින් මූලිකව ඉල්ලා තිබුණි.

එහෙත් එම මූලික විරෝධතා ප්‍රතික්ෂේප කළ කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය එම නඩුව දිගටම විභාග කිරීමට තීන්දු කළේය.

කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය විසින් ගනු ලැබූ එම තීරණය නීතියට පටහැනි බව තීන්දු කොට තමන් නිදහස් කිරීමේ නියෝගයක් නිකුත්කරන ලෙස ඉල්ලමින් ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා කොළඹ මහාධිකරණය හමුවේ ප්‍රතිශෝධන පෙත්සමක් ගොනු කළේය.

එම ප්‍රතිශෝධන පෙත්සම විභාග කළ කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා අල්ලස් කොමිසම විසින් අමාත්‍යවරයාට එරෙහි ව අදාළ නඩුව ගොනුකර තිබෙන ආකාරය නීතියට පටහැනි බව ප්‍රකාශ කළේය.

ඒ අනුව ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා විසින් ඉදිරිපත් කළ ප්‍රතිශෝධන පෙත්සම පිළිගන්නා බව සඳහන් කළ විනිසුරුවරයා ඒ පිළිබඳ වැඩිදුර කටයුතු කිරීම සඳහා මෙම නඩු තීන්දුව කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයට යොමුකරන ලෙසත් නියෝග කළේය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ජෝන්ස්ටන් ප්‍රනාන්දු මහතාට අමතරව සතොස හිටපු සභාපතිවරයෙකු වන නලීන් රුවන්ජිත් ප්‍රනාන්දු සහ සතොස හිටපු ක්‍රියාකාරී අධ්‍යක්ෂවරයෙකු වන මොහොමඩ් සාකීර් මහත්වරුන් තිදෙනාට එරෙහිව මෙම චෝදනා ගොනු කර තිබුණි.

Exit mobile version