ජීවිතය අවදානමේ… අනතුරක් සිදුවුවහොත් ආණ්ඩුව වගකිව යුතුයි…

STF ආරක්ෂාව ඉවත් කීරීම සම්බන්ධව සුමන්තිරන් මන්ත්‍රීවරයා මාධ්‍යයට කියයි...

දිනසේන රතුගමගේ –

තමන්ගේ ආරක්ෂාව අඩු කිරීම නිසා තම ජීවිතයට යම් බලපෑමක් ඇති වුවහොත් රජය ඊට වගකිව යුතු බව දෙමළ ජාතික සන්ධානයේ යාපනය දිස්ත්‍රික්  පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ.සුමන්තිරන්  පැවසීය.

මන්ත්‍රීවරයාට ලබා දී තිබූ පොලිස් විශේෂ කාර්ය බලකායේ ආරක්ෂාව ඉවත් කිරීම සම්බන්ධයෙන් යාපනයේ මාධ්‍යවේදීන් ඔහුගෙන් තොරතුරු විමසූ අවස්ථාවේදී ඔහු මේ බව කියා සිටියේය.

ඔහු කියා සිටින්නේ නැගෙනහිර සිට උතුරට පා ගමනක් යාම  නිසා තමන්ට මෙතෙක් ලබා දී තිබූ පොලිස් විශේෂ කාර්ය බලකායේ ආරක්ෂාව ඉවත් කිරීම අසාධාරණ ක්‍රියාවක් බවයි.


තමන් ඇතුළු පිරිස එම පාගමන සංවිධානය කළේ මේ රටේ සිටින දෙමළ ජනතාවට ඉල්ලීම 10 ක් දිනා ගැනීමේ අරමුණින් බව පවසන සුමන්තිරන් මන්ත්‍රීවරයා දෙමළ වැසියන් ඔවුන්ට හිමි විය යුතු අයිතිවාසිකම් ඉල්ලා සිටීම ප්‍රජාතන්ත්‍රවාදී  රටක් තුළ නීති විරෝධී කාරණයක් නොවන බවද  ප්‍රකාශ කරයි.

සුමන්තිරන් මන්ත්‍රීවරයාගේ ආරක්ෂාවට තර්ජනයක් එල්ල වූයේ රජය විසින්ම සිදු කරන ලද යම් යම් කාරණා නිසා බව පෙන්වා දෙන ඔහු එම සිද්ධීන් සම්බන්ධ නඩු විභාගයන්ද තවමත් අවසන් වී නොමැති නිසා තමන්ගේ ජීවිතයට විශාල අවදානමක් පවතින බවද මෙහිදී සඳහන් කළේය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


එම අවදානම් මධ්‍යයේ තම ජීවිතයට සිදුවන්නා වූ සියලු සිදුවීම් සම්බන්ධයෙන් වගකීම රජය විසින් බාර ගත යුතුව ඇතැයි ඔහු කීප විටක්ම අවධාරණය කොට සිටි අතර මේ සම්බන්ධයෙන් තමන් පාර්ලිමේන්තුවේදී අදහස් දක්වන බවද කියා සිටියේය.

Exit mobile version