දිනසේන රතුගමගේ –
යාපනයේ පොන්නාලේ ප්‍රදේශයේ අන්ත දිළිදු කාන්තාවකගෙන් පොලිස් නිලධාරීන් දෙදෙනෙකු විසින් රුපියල් 8000 ක අල්ලසක් ලබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ගම්වාසීන් ඉහළ නිලධාරීන්ට පැමිණිලි කොට ඇතත් ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කොට නොමැති බව පොන්නාලේ ප්‍රදේශයේ වැසියෝ පැවසූහ.
මෙම කාන්තාවගේ නිවසට පානීය ජලය නොමැති නිසා ඇය සිය ගෙවත්තේ නළ ලිඳක් හෑරීමට පටන් ගෙන තිබේ.
ඒ සදහා අවශ්‍ය වූ මුදල සපයාගෙන ඇත්තේ කාන්තාවගේ පාසල් යන දරුවා විසින් සවස් කාලයට විවිධ ස්ථානවල කුලියට වැඩ කිරීමෙන් උපයාගත් මුදලක් එකතු කර ගැනීමෙන් හා පළාතේ ධානපතියන් විසින් ලබා දෙන ලද මුදල් වලිනි.
නළ ලිඳ හාරමින් සිටි ස්ථානයට පැමිණි පොලිස් නිලධාරීන් දෙදෙනා අවසරයකින් තොරව නළ ලිං හෑරීම වරදක් බවත් ඊට නඩු නොදැමීමට නම් රුපියල් 15000 ක් ලබා දෙන ලෙසත් ඉල්ලා තිබේ.
![](http://lankasara.com/wp-content/uploads/2024/06/TUBE-WELL-001.jpg)
කාන්තාව පවසා අත්තේ එතරම් මුදලක් ඔවුන් සතුව නොමැති බවයි .
කාන්තාව විසින් නළ ලිද හාරණ පිරිසට ගෙවීම සඳහා ඇය සන්තකයේ තිබූ මුදලින් රුපියල් 8000 ක මුදලක් පොලිස් නිලධාරීන්ට අල්ලස් වශයෙන් ලබා දී තිබේ.
මේ සිද්ධිය සැලවීමෙන් පසුව ගම්වාසීන් එම ස්ථානයට පැමිණ අදාල අල්ලස ලබා ගැනීම සම්බන්ධයෙන් පොලීසියේ ඉහළ නිලධාරීන්ට පැමිණිලි කොට ඇතත් මේ දක්වා කාන්තවට සාධාරණයක් හෝ අල්ලස් ලබා ගත් පොලිස් නිලධාරීන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක වීමක් මෙතෙක් සිදු වී නොමැත.
අල්ලස් ලබාගත් පොලිස් නිල්ධාරීන් දෙදෙනාගේ නම් දෙකද ගම්වාසීන් විසින් පොලීසියේ ඉහළ නිලධාරීන්ට ලබා දී ඇත.