ජාතික ආණ්ඩුවකට පක්ෂ ලෙස එකඟ වෙන්න… නැතිනම් පක්ෂ කඩා මන්ත්‍රීවරු අරන් ආණ්ඩුවක් හදන්නවා.. රජය දන්වයි..

ආණ්ඩුවේ පක්ෂ සහ විපක්ෂය එක්ව නිශ්චිත කාල සීමාවකට  ජාතික ආණ්ඩුවක් පිහිටුවා ගැනීම සඳහා මේ වනවිට සාකච්ඡා  ආරම්භ කර ඇති බවත් අප්‍රේල් අවසන් වනවිට පක්ෂ ලෙස එක්ව ජාතික ආණ්ඩුවක් පිහිටුවීමට එකඟ නොවන්නේ නම් එම පක්ෂවලින් මන්ත්‍රීවරුන් ගලවාගෙ ඔවුන් සඳහා අමාත්‍ය ධූර ප්‍රධානය කර නිශ්චිත වශයෙන්ම ජාතික ආණ්ඩුවක් පිහිටුවීමට ජනාධිපතිවරය සූදානමින් සිටින බවත් රජයේ අභ්‍යන්තර ආරංචි මාර්ග  හෙළි කරයි.

ජනාජාධිපති රනිල් වික්‍රමසිංහගේ උපදෙස් මත විපක්ෂයේ දෙශපාලන පක්ෂ සහ ආණ්ඩුවට සම්බන්ධ පක්ෂ අතර මේ වනවිට පැවැත්වෙන   සාකච්ඡා ඉතා සාර්ථක මට්ටමකට පැමිණ ඇති බව ආණ්ඩුව නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් මේ සම්බන්ධ කළ විමසීමක දී  ලංකාසරට පැවසීය.

ජාතික ආණ්ඩුවක් ඇතිකරගැනීම සඳහා පවත්වන සාකච්ඡාවලට ජනතා විමුක්ති පෙරමුණ හැර සෙසු පක්ෂවල ප්‍රධානීන් රැසක් සහභාගී වී ඇති බව එම මන්ත්‍රීවරයා කීවේය.

අප්‍රේල් මස අවසන් වීමට පෙර සාකච්ඡා අවසන් කිරීමට තීරණය කර ඇති අතර එලෙස නම් කරගත් එම කාලරාමුව තුළ ජාතික ආණ්ඩුව පිහිටුවීම සඳහා පොදු එකඟතාවයකට පැමිණීමට නොහැකි වුවහොත්  ඒ ඒ පක්ෂවල මන්ත්‍රීවරුන් සම්බන්ධ කරගෙන ඔවුන්ට ඇමතිකම් ලබා දී පොදු වැඩ පිළිවෙළ ඉදිරියට ගෙන යෑමට ආණ්ඩුව සැලසුම් කර ඇති බවත්  ඊට පිට වෙනත් විකල්පයක් නැති බවත් ආණ්ඩුව නියෝජනය කරන මෙම ප්‍රබල මන්ත්‍රීවරයා ලංකාසරට ප්‍රකාශ කළේය.


“සමගි ජන බලවේගය පක්ෂයක් ලෙස ජාතික ආණ්ඩුවට එක් නොවනවා නම් එම පක්ෂයේ පමණක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 30කට වැඩි පිරිසක් ආණ්ඩුවට එක්වීමට සූදානමින්  ඉන්නවා”

ඔහු කීවේය. කෙසේ වෙතත් මනෝ ගනේෂන් සහ රවුෆ් හකීම් එක්ව සමගි ජන බලවේගය එක්සත් ජාතික පක්ෂය හා එක් කිරීමට ගත් උත්සාහයට සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස එකඟ වී නොතිබිණි.

විපක්ෂය හැර ආණ්ඩුවට එක් වීමට සූදානමින් ප්‍රකාශ නිකුත් කළ රාජිත සේනාරත්න විපක්ෂයේ ප්‍රබල කණ්ඩායමක් හමුවේ පොරොන්දු වී තිබුණේ පක්ෂය හැරදා නොයන බවය.

ජාතික ආණ්ඩුවක් පිහිටුවීම සඳහා ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් ලැබුණද එය පිළි නොගත යුතු බව ඩලස් අලහප්පෙරුම, ජී.එල් පීරිස් ප්‍රමුඛ ආණ්ඩුවෙන් ස්වාධීන වූ මන්ත්‍රීවරුන් 13ක් සහිත  නිදහස ජාතික සභාව තීරණය කර තිබේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


විමල් වීවංශ ප්‍රමුඛ කණ්ඩායමත් රජයේ පුද්ගලකරණ ප්‍රතිපත්තිය දැඩිව විවේචනයකරමින් ඇත.

Exit mobile version