ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දරව නවත්වන්න… වාසු අගමැතිගෙන් ඉල්ලයි…

මහජන උපයෝගීතා කොමිෂන් සභාව වසා දමන ලෙස දන්වන  ජනාධිපති ලේකම් පී.බී.ජයසුන්දරගේ නියෝගය අත්හිටුවන  ලෙස ඉල්ලා  ජලසම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර අගමැති මහින්ද රාජපක්ෂගෙන් ලිඛිත  ඉල්ලීමක් කර තිබේ.

මහජන උපයෝගීතා කොමිෂන් සභා පනත සංශෝධනය කරන බවට ඉදිරිපත් වූ අයවැය යෝජනාවට හාත්පසින් පරස්පරව  ක්‍රියා කරමින් සිදු කරන්නට යෝජිත මේ ක්‍රියාව නිසා බරපතල මහජන අප්‍රසාදයක් ඇතිවිය හැකි ආකාරය ගැන වාසුදේව නානායක්කාර ඇමතිවරයා අගමැතිවරයාට පෙන්වා දෙයි.

ඇමතිවරයා පෙන්වා දෙන්නේ ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව සෑම විටම ක්‍රියා කර ඇත්තේ පුරවැසියෙකුට යම් ආරවුලක් ඇතිවුවහොත් බේරුම්කරණය හා සමථකරණය හරහා අදාල ගැටලුව විසඳා දීම සඳහා බවය. විදුලිය පමණක් නොව, ජල, ඛණිජතෙල් සම්බන්ධ පාරිභෝගික ගැටලු විසඳීම සඳහා මෙම ආයතනය ඵලදායි ලෙස කටයුතු කළ ඉතිහාසය ද වාසුදේව නානායක්කාර ඇමතිවරයා අගමැතිවරයා වෙත දන්වා යවා ඇත.


පසුගිය කාලයේ අසාධාරණ ලෙස විදුලිය මිල වැඩි කිරීම වැළැක් වූ ආයතනය  ලෙසත්, යහපාලන රජය විසින් ටෙන්ඩර් කැඳවීමෙන් තොරව විදුලිය මිල දී ගැනීම සඳහා  මහජන උපයෝගීතා  කොමිෂන් සභාවේ බලතල අඩු කිරීමට ගත් උත්සාහය  පාර්ලිමේන්තුවේ දී වැලැක් වූ නායකයා ලෙසත් මෙම නියෝගයට එරෙහිව කටයුතු කිරීමේ වැදගත්කම ඇමතිවරයා තවදුරටත් පෙන්වා දෙයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ආරක්ෂා කරගත යුතු ආයතනයක්වන මෙම ආයතනය වසා දැමීමෙන් පාරිභෝගික සේවා අඩාල වී රජය අපකිර්තියට පත් විය හැකි බව දන්වන වාසුදේව නානායක්කාර ඇමතිවරයා  ජනාධිපති ලේකම්වරයාගේ නියෝගය අත් හිටුවන ලෙසත් අගමැතිවරයා හමුවී මේ සම්බන්ධව කරුණු දැක්වීමට එම කොමිසමේ සභාපති, අධ්‍යක්ෂ ජනරාල් ඇතුළු සාමාජිකයන්ට අවස්ථාවක් ලබා දෙන ලෙසත් ඉල්ලා සිටී.

 

 

Exit mobile version