ජනාධිපතිගේ අණටත් ඉහළින් යන කෙහෙළිය සහ නිලධාරීන්ගේ ඖෂධ මගඩිය ගැන වෛද්‍ය සංගම් හතරකින් චෝදනා පත්‍රයක් !

ජනාධිපතිවරයා විසින් දෙන ලද උපදෙස් සහ මඟ පෙන්වීම්ද බැහැර කරමින් පවතින ඖෂධ හිඟය හමුවේ ඖෂධ මෙරටට ගෙන්වීමේ පටිපාටියෙන් ද බැහැරව මෙරට ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ලියාපදිංචියෙන් තොර ඖෂධ වර්ග ගණනාවක් ගෙන්වීමට සෞඛ්‍ය අමාත්‍යවරයා ඇතුළු අමාත්‍යංශ නිලධාරීන් විසින් ගනු ලැබ ඇති පියවර සම්බන්ධයෙන් වහා අවධානය යොමු කරන ලෙස මෙරට ප්‍රමුඛ පෙළේ විශේෂඥ වෛද්‍ය සංගම් හතරක් ජනාධිපති රනිල් වික්‍රමසිංහගෙන් ඉල්ලා සිටී.

ඔවුන් චෝදනා කරන්නේ ඉන්දීය සමාගම් දෙකකින් මෙරට ඖෂධ වර්ග 300කට අධික ප්‍රමාණයක් ගෙන්වීමට සෞඛ්‍ය අමාත්‍යංශය දරන උත්සාහය හේතුවෙන් රටේ සෞඛ්‍ය සහ රෝගීන්ගේ ජීවිතවලට ඉතා අවදානම් සහගත තත්ත්වයකට මුහුණ දීමට සිදුවනු ඇති බවය.

ශ්‍රි ලංකා කායික වෛද්‍යවරුන්ගේ විද්‍යායතනය, ශ්‍රි ලංකා ළමා රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යායතනය, ප්‍රසව හා නාරිවේද වෛද්‍යවරුන්ගේ විද්‍යායතනය සහ ශ්‍රි ලංකා ශල්‍ය වෛද්‍යවරුන්ගේ විද්‍යායතනය විසින් මෙම ලිපිය ජනාධිපතිවරයා වෙත යොමු කර ඇති අතර එයින් ඔවුන් ජනාධිපතිවරයාට පෙන්වා දී ඇත්තේ කැබිනට් රැස්වීමකදී ජනාධිපතිවරයා විසින් පවතින ඖෂධ හිඟය මග හැරීමට ලබා දී ඇති උපදෙස්වලට පටහැණිව අමාත්‍යංශය මේ වනවිට කටයුතු කරමින් සිටින බවය.

මෙම අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී ජනාධිපතිවරයා ඉන්දීය ණය තීරුව තුළ දැනට ඉතිරි ව ඇති අරමුදල් භාවිත කර ඉන්දීය ඖෂධ සමාගම්වලින් ඖෂධ ගෙන්වීමට අදාළ උපදෙස් ලබා දී තිබේ. එම රැස්වීමේදී මුදල් අමාත්‍යවරයාද වන ජනාධිපතිවරයා අවධාරණය කර ඇත්තේ මෙම ඖෂධ ගෙන්වීමේදී ඒවායේ මිල මෙන්ම ගුණත්මකභාවයද සැලකිල්ලට ගත යුතු සේම ඖෂධ ගෙන්වීමේදී සෙසු පෞද්ගලික සමාගම් සම්බන්ධයෙන් අනුගමනය කරනු ලබන ක්‍රියාපටිපාටීන් එලෙසින්ම ක්‍රියාත්මක කළ යුතු බවය.


එසේ උපදෙස් ලැබී තිබියදීත් සහ ජාතික ඹෟෂධ නියාමන අධිකාරියේ ලියාපදිංචි ඉන්දීය ඖෂධ නිෂ්පාදන තිබියදී සෞඛ්‍ය අමාත්‍යංශයත් එහි වෛද්‍ය සැපයුම් ඒකකය සහ ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධාන විධායක නිලධාරියාත් විසින් ඖෂධ වර්ග 300කට අධික ප්‍රමාණයක් මෙරට ලියාපදිංචි කිරීමකින් තොරව ගෙන්වීමට ජාතික ඖෂධ නියාමන අධිකාරියේ අධ්‍යක්ෂ මණ්ඩලයෙන් සහ තාක්ෂණික ඇගයීම් කමිටුවෙන් අවසරය ඉල්ලා ඉල්ලීම් ඉදිරිපත් කර ඇති බවට මෙම වෛද්‍ය සංගම් චෝදනා කරයි.

මෙලෙස ලියාපදිංචි කිරීමකින් තොරව ගෙන්වීම සඳහා ඉල්ලීම් කර ඇති ඖෂධ අතර එන්නත් මඟින් ලබා දෙන ප්‍රතිජීවක ගෙන්වීමට උත්සාහ කරන්නේ කිහිප අවස්ථාවකදී ගුණාත්මක තත්ත්වය බිඳ වැටී ඇති බව තහවුරු වූ ඖෂධ නිෂ්පාදන සමාගමක් විසින් බවද එම විශේඥවරු පෙන්වා දෙති.

ජනාධිපතිවරයා විසින් දෙන ලද නියෝගයන්ද ඉක්මවමින් මෙලෙස සෞඛ්‍ය අමාත්‍යංශය කටයුතු කිරීම සම්බන්ධයෙන්වූ චෝදනා සම්බන්ධවද මෙම ලිපිය ඊළඟ කැබිනට් අමාත්‍ය රැස්වීමේදී අමත්‍ය මණ්ඩලය වෙත යොමු කරවන ලෙසත් මේ පිළිබඳව අමාත්‍යවරයාගෙන් කරුණු විමසන ලෙසත් මෙම වෛද්‍යවරු තවදුරටත් ඉල්ලා සිටිති.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


සෞඛ්‍ය අමාත්‍යංශය විසින් නම් කරනු ලැබ ඇති මෙම ඉන්දීය සමාගම් දෙකකින් එකක් පසුගියදා අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලට ඉන්දීය සංචාරයකට අනුග්‍රහය දැක්වූ බව සඳහන් වන අතර එම චෝදනා ප්‍රතික්ෂේප කළ අමාත්‍යවරයා පවසා සිටියේ තම පෞද්ගලික මුදලින් මෙම ඖෂධ සමාගම් නිරීක්ෂණයට ගිය බවය.

Exit mobile version