ජගත් මහලේකම් ධුරයට දෙවන වරටත් ඇන්ටෝනියෝ ගුටරෙස් දිවුරයි

antonio - UN general secratary

එක්සත් ජාතීන්ගේ මහලේකම් ධුරයට දෙවන වරටත් ඇන්ටෝනියෝ ගුටරෙස් ඊයේ පත්කර තිබේ. එහි මහා සභා රැස්වීමේදී සිය ධුරයේ දිවුරුම් දෙමින් ඔහු පැවසුවේ COVID-19 වසංගතයෙන් මිදීම උදෙසා ලෝකයාට අඛණ්ඩව උදව් කරන බවය.

මෙම තීරණාත්මක මොහොතේ තමාට ලබා දී ඇති දැවැන්ත වගකීම් පිළිබඳව තමා දන්නා බව ද ගුටරෙස් අවධාරණය කළේය.

“අපි සැබවින්ම සිටින්නේ එක්තරා සන්ධිස්ථානයකයි. සියල්ල වෙනස් වෙමින් පවතී. පැරණි ඕතඩොක්ස් ක්‍රම පෙරළෙමින් තිබේ. අපගේ ඉතිහාසය ලියන්නේ අපි මේ මොහොතේ කරන තේරීම් ය. එය දෙයාකාරයකින් සිදුවිය හැකිය. එක්කෝ බිඳවැටීම හා නිරන්තර අර්බුදයයි. නැතිනම් සැමට හරිත, ආරක්ෂිත සහ වඩා හොඳ අනාගතයක් පිළිබඳ අපේක්ෂාවකින් යුත් ඉදිරි ගමනයි. අපිට බලාපොරොත්තු තබා ගැනීමට තරම් හේතු තිබේ.” ඔහු කීය.


එක්සත් ජාතීන්ගේ සාමාජික රටවල් 193 හි ඉහළම තනතුර වන මහලේකම් ධුරය සඳහා තරඟ කළ එකම අපේක්ෂකයා වූයේ ද ගුටරෙස් ය. ඔහුගේ පළමු පස් අවුරුදු ධූර කාලය 2017 ජනවාරි මාසයේදී ආරම්භ විය. ඔහුගේ මව්බිම වන පෘතුගාලය විසින් ඔහුව නම් කර ඇත. එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලය විසින් කලින් අනුමත කිරීමෙන් අනතුරුව, 2022 ජනවාරි සිට 2026 දෙසැම්බර් දක්වා දිවෙන දෙවන වාරය සඳහා මහා මණ්ඩලය විසින් ඔහු අගැයීමට ලක් කරන ලදී.

එක්සත් ජාතීන්ගේ නිල භාෂා හයෙන් තුනක් වන ඉංග්‍රීසි, ප්‍රංශ සහ ස්පාඤ්ඤ මිශ්‍ර කර කථා කරමින් ගුටරෙස් මහතා COVID-19 ‍වසංගත තත්ත්වය තුළ ඇති ගෝලීය අසමානතා ගැන කතා කළේය. වසංගතය විසින් ජීවිත මෙන්ම ජීවනෝපායන් ද ගිලගෙන ඇති ආකාරය ඔහු විස්තර කළේය. ඒ අතරම දේශගුණික විපර්යාස සහ ජෛව විවිධත්වය නැතිවීම වැනි අභියෝගවලට රටවල් මුහුණ දී සිටින බව සිහිපත් කළේය. වසංගතයෙන් මිදීමට මෙන්ම සමාජ ආර්ථික ප්‍රකෘතියට, වඩා සාධාරණ පදනමක් ලබාදෙමින් ඉදිරියට යායුතු බව ඔහු ප්‍රකාශ කළේය.

“අපගේ ලොකුම අභියෝගය, අපගේ ලොකුම අවස්ථාවයි. වඩදිය බාදිය හැරවීමට මෙම පාඩම භාවිතා කළ යුතුයි.”

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


“ලෝකය බොහෝ වෙනස් වී ඇතත්, එක්සත් ජාතීන්ගේ පොරොන්දු එලෙසම පවතී. නමුත් එම පොරොන්දු ජීවත් කරවීමට නම් රටවල් එකමුතුව, එහෙත් සම්පූර්ණයෙන්ම වෙනස් ක්‍රමයකට කටයුතු කළ යුතුය.” ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය.

Exit mobile version