ක්‍රිකට් පජාත වී තිබුණේය. ඒත් ඒ ක්‍රිකට් අපරාධය සම්බන්ධව රටට දැනෙන්නටම රිදුනේ බංගලියන්ගෙනුත් ගුටි කා විස්සයි 20 ලෝක කුසලාන ඉතිහාසයේ සුපිරි අටදෙනාගෙනුත් විසිවී පජාත වුන පසුවය. හිටපු ක්‍රීඩා ඇමති වරයා පක්ෂ විපක්ෂ භේදයකින් තොරව පාර්ලිමේන්තුව සාමුහිකව එකතු කරගෙන ක්‍රිකට් වෙනස් කිරීම සඳහා සම්මුතිගත වෙද්දී ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපතිවරයා අයි.සී.සී එක සමග සාකච්ඡා කර ලංකාවට අයි.සී.සී සාමාජිකත්වය අහිමි කරවමින් තහනමක් ගෙනාවේය. රටේ ජනාධිපතිවරයා ක්‍රීඩා ඇමතිවරයා ධූරයෙන් පැන්නුවේය.
පසුව ජනාධිපති ක්‍රිකට් ගැන හොයන්නට කැබිනටට් අනු කමිටුවක් පත් කර තමන්ගේ ජුන්ඩෙක් ඇමති කමට පත් කළේය. විනයක් සංයමක් නැති ගොබ්බයෙක් සේ හැසිරෙන ඉතිහාසයක් සහිත දූසිත ක්‍රිකට් බෝඩ් එකේ සභාපතිගේ සාක්කුවේ බවත්, ඔහු ක්‍රිකට් බෝඩ් එක සමග එක්ව දේශපාලනය කරන බවත් දේශපාලන ව්‍යාපෘතිවලට ක්‍රිකට් බෝඩ් එකේ සල්ලි යොදා ගන්නා බවත් ආදී වශයෙන් චෝදනා එල්ල වූයේය.
මේ අතර කප්ප කුජීත වෙමින් බංගලියන්ටත් පැරදුන දවසේ ක්‍රිකට් සොයා බැලීමට ජනාධිපති පත් කළ කැබිනට් කමිටුවේ සභාපති ජනාධිපති නීතිඥ විදේශ ඇමති අලි සබ්රි කට ඇරියේය. X සමාජ මාධ්‍ය වේදිකාවේ ප්‍රකාශයක් කරමින් අලි සබ්රි කීවේ දූෂිත ක්‍රිකට් පාලකයින් ගේ මේ අශිෂ්ඨ පාලනයට දැන් තිත තැබීමට කාලය එළඹ ඇති බවය.
විදේශ ඇමති ජනාධිපති නිතිඥ අලි සබ්රි සිය ස්ථාවරය පුළුල් ලෙස සංවාදයට ලක්කරමින් ජ්‍යෙෂ්ඨ ක්‍රීඩා මාධ්‍යවේදී මොහොමඩ් ගවුස් සමග සිළුමිණ පුවත්පට විශේෂ සම්මුඛ සාකච්ඡාවක් ලබා දී තිබිණි.
මේ පළවන්නේ එම සංවාදය යි.
අතීත ක්‍රිකට් පරිපාලනය
“අපේ ක්‍රිකට් ඉතිහාසයේ කවදාවත් නැති විදිහට අද ක්‍රිකට් ක්‍රීඩාව වැටිලා තියෙනවා. විස්සයි20 ලෝක කුසලානයේ ඇෆ්ගන් ජයග්‍රහණය ගැනත් මම කියන්නේ ඒක. 1996 වසරට කලින් අපේ ක්‍රිකට්වලට තිබුණු තත්ත්වය විදිහටයි මම දකින්නේ. ඇෆ්ගනිස්තානය අවධානය යොමු කළේ ක්‍රීඩාවයි රටටයි විතරයි. ඒ කාලේ අපේ රටේ තිබුණු ක්‍රිකට් පරිපාලනය වගේ. ඇත්තටම ක්‍රීඩාවට ආදරය කරපු, තමන්ගේ කාලය තමන්ගේ මුදල් ක්‍රිකට් වෙනුවෙන් වියදම් කරපු කිහිපදෙනක් ඒ කාලයේ හිටියා. ආනා පුංචිහේවා, රාජා මහේන්ද්‍රන්. දහම් විමලසේන, ඇන්.එම්. පෙරේරා, ගාමිණි දිසානායක වගේ මහත්වරු. පුදුම උනන්දුවකින් එයාලා වැඩ කළේ. කිසිම වරප්රසායක් ලබාගන්න උත්සාහ කළේ නෑ. ගන්න වරප්‍රසාදයක් තිබ්බෙත් නෑ.
නමුත් 1996න් පස්සේ මේක මහා ව්‍යාපාරයක් බවට පත්වුණා. විශාල මුදල් ප්‍රමාණයක් ආවා. රූපවාහිනී විකාශන අයිතියත් එක්ක අනුග්‍රාහක මුදල් එන්න පටන් ගත්තා. ඒකත් එක්ක ක්‍රිකට්වලට ආසාවක් නෙවෙයි ඒකෙන් වාසි ප්‍රයෝජන ලබාගන්න, ඒකෙන් අවස්ථාවක් ලබාගන්න, ඒකෙන් තමන්ට කීර්තියක් අත්කර ගන්න කීර්තියක් කිසිසේත්ම නැති මිනිස්සු ටිකක් එකතු වෙලා මේක අල්ලගෙන ඉන්නවා. අල්ලගෙන ඉන්නකොට එයාලා තීන්දු තීරණ ගන්නේ කිසිම ගොඩාක් වෙලාවට දක්ෂයන් පිරිසක් විදිහට නෙවෙයි. ඒ නිසා තමයි අපි කියන්නේ අපේ ක්‍රිකට් පරිපාලනය සම්පූර්ණයෙන්ම වෙනස් වෙන්න ඕන කියලා. ”
කැබිනට් අනුකමිටුවේ නිරික්ෂණ
විදේශ ඇමැතිවරයාගේ සභාපතිත්වයෙන් යුතු කැබිනට් අනුකමිටුව සිය නිර්දේශ ඉදිරිපත් කිරීමට පෙර මෙරට ක්‍රිකට් ක්ෂේත්රයට සම්බන්ධ පාර්ශ්ව රැසක් සමඟ පැවැති සාකච්ඡාවලදී වැඩි අවධානයක් යොමුවූ කරුණක් ද සඳහන් කළේය.
‘ක්‍රිකට් ක්‍රීඩකයන් සමඟත් අපි සාකච්ඡා කළා. එයාලා විශේෂයෙන්ම කියන දෙයක් තමයි අපේ තණතීරුවල ප්‍රමිතිය අඩුයි කියන කාරණාව. ඒ තණතීරුවල පන්දුව හොඳින් ‘කැපෙනවා‘ කියලයි ඔවුන් කියන්නේ. ඒත් ඒ තණතීරුවල පුහුණුවීම් කරලා 2023 එක්දින ලෝක කුසලාන තරගාවලියට ගියාම එහේ තණතීරු එම තත්ත්වයට සමාන නැති නිසා මුල් පන්දුවේ ඉඳලම ප්‍රහාරයට ලක්වෙනවා කියලයි ඔවුන් කියන්නේ.
මේක හරිම ප්‍රශ්නයක්. හැබැයි අපේ ක්‍රිකට් පරිපාලනය දඹුල්ල ක්‍රීඩාංගණයට ආයෝජනය කරනවා රුපියල් බිලියන එකහමාරක් දෙකක් විතර විදුලි ආලෝක ධාරා සවි කරන්න. ‘ඩේ නයිට් මැච්‘ එකක් ගහලා නෑ අවුරුදු ගණනාවකින්. මොකටද මේ..? ඕකද වෙන්න ඕන..?
මට ඊයේ පෙරේදා තොරතුරු ලැබුණා රුපියල් මිලියන 52 ගාණේ සජීවී දර්ශන තිර ගෙන්නලා තියෙනවා කියලා. ඒවා ඉල්ලපු නැති අයටත් දීලා තියෙනවා කියලා. මේකනේ වෙන්නේ. විශාල මුදලක් එනවා ක්‍රිකට් බෝඩ් එකට. එයාලා ඒ මුදල් වියදම් කරනවා. වියදම් කරන කොට වෙන දේ අපි දන්නවනේ. කිසිම පාරදෘශ්‍යභාවයක් නෑ. මේක වෙනස් කළේ නැතිනම් අපේ ක්‍රිකට් මීටත් වඩා පල්ලෙහාට වැටෙන්න ඉඩ තියෙනවා.”
චිත්රසිරි කමිටු වාර්තාව කැඳවූයේ ඇයි?
ක්‍රිකට් ආයතනයේ ව්‍යවස්ථාව වෙනස් කිරීම සඳහා චිත්රසිරි වාර්තාව කැඳවීමට කැබිනට් අනු කමිටුව විසින් නිර්දේශ කරනු ලැබුවේ දූෂිත ගනුදෙනු සම්බන්ධව හේතු සාධක ගණනාවක් මත බව ද අමාත්‍ය අලි සබ්රි පැවැසීය.
‘චිත්රසිරි වාර්තාව කැඳවන්න කලින් අපි අවසන් කළ වාර්තාවට කරුණු එක්රැස් කරද්දී අත්දැකීම් රාශියක් ලැබුණා. ඒ වගේම අපි දැක්කා ක්‍රිකට් පරිපාලනයේ විශාල දුර්වලතා තිබෙන බව. ක්‍රිකට් පරිපාලනය කළ යුතු වන්නේ දක්ෂ අය. ඒකේ කොටස් දෙකක් තියෙනවා. එකක් ක්‍රිකට් ආයතනයේ පරිපාලනය. අනිත් එක ක්‍රිකට්වල තාක්ෂණ පැත්ත. ඒක ක්‍රිකට් ක්‍රීඩකයන්ටයි පුහුණුකරුවන්ටයි කරන්න පුළුවනි.
ඒත් ආයතනයක් පාලනය කරනවා කියන්නේ හරියට සමාගමක් පරිපාලනය කරනවා වගේ වැඩක්. ඒකේ විගණනය කොහොමද වෙන්නේ, ප්‍රසම්පාදන ක්‍රියාවලිය කොහොමද වෙන්නේ, තොරතුරු ලබාගන්නේ කොහොමද කියන ඒවා. ඒකට දක්ෂ පුද්ගලයන් ඉන්න ඕනා. ”
“දැන් ඉන්දියාවේ ක්‍රිකට් පාලක මණ්ඩලයේ ප්‍රධාන විධායක නිලධාරි විදිහට පත් කරලා තියෙන්නේ එහේ ලොකු සමාගමක හිටපු පුද්ගලයෙක්. ඒ නිසා අපි හිතනවා පරිපාලනයේ විශාල වෙනසක් වෙන්න ඕන කියලා. අපි අපේ වාර්තාවේ ඒක කියලා තියෙනවා. ”
ඡන්ද ක්‍රමය වෙනස් විය යුතුයි
ක්‍රිකට් ආයතනයේ නිලතල සඳහා නිලධාරින් පත් කිරීමේ ඡන්ද ක්‍රමය ද ඔහුගේ දැඩි විවේචනයට ලක්විය.
‘දැන් බලන්න ඉන්දියාවේ ජනගහනය බිලියන 1.4යි. ඒත් ඒ රටේ ක්‍රිකට් නිලවරණයේදී ඡන්දය තියෙන්නේ 38 දෙනකුටයි. මුළු ඔස්ට්‍රේලියාවටම තියෙන්නේ ක්‍රිකට් ඡන්ද 7යි. එංගලන්තයට ඡන්ද 18යි. හැබැයි මිලියන 22ක ජනගහණයක් ඇති ශ්‍රී ලංකාවේ ක්‍රිකට් නිලවරණයට ඡන්ද 147ක් තියෙනවා. කිසිම තේරුමක් නෑ. මිල මුදල් සම්පත් හැම දෙයක්ම එයාලා පාවිච්චි කරන්නේ මේ ඡන්ද ටික දිනාගන්නයි. ඒ ඡන්ද දිනාගන්න වියදම් කරනවා විතරයි. ක්‍රිකට් දියුණුවට යොදවන්නේ නෑ. ඡන්දය බලාගෙනයි වියදම් කරන්නේ. ඒ නිසා තමයි මම කියන්නේ ක්‍රිකට් පරිපාලනය වෙනස් වෙන්න ඕන කියලා.”
‘දැන් දක්ෂ මිනිස්සු ක්‍රිකට් ඡන්දයට ඉදිරිපත් වෙන්නේ නෑ. මුරලිදරන් කියලා තිබුණා එයා කොළඹ දිස්ත්‍රික්කයෙන් ඡන්දය ඉල්ලුවොත් දිනයි හැබැයි ක්‍රිකට් බෝඩ් එකෙන් ඡන්දය ඉල්ලුවොත් එක ඡන්දයක්වත් ලැබෙන්නේ නෑ කියලා. මොකක්ද මේ..? විහිළුවක් නේ. ලෝක පූජිත ක්‍රිකට් ක්‍රීඩකයෙකුටවත් ක්‍රිකට් ඡන්දය දිනන්න බෑ කියන්නේ මේකේ වෙනම කණ්ඩායමක් බලය ග්‍රහණය කරගෙන ඉන්නවා කියන එකයි. වෙනම ආධිපත්‍යයක් පතුරුවාගෙන ඉන්නවා කියන එකයි. ඒක වෙනස් වෙන්න ඕනා අනිවාර්යයෙන්ම. ”
“දෙවැනි එක යටිතල පහසුකම්වලට විශාල මුදලක් වියදම් කරන්න ඕනා. අලුත් තණතීරු, තාක්ෂණ දැනුම වගේ දේවල්වලට. තුන්වැනි එක ඉතාම වැදගත් වෙන්නේ පාසල් මට්ටමෙන් ආවට පස්සේ එගොල්ලන්ව රඳවා ගන්න ඕනා අවුරුදු 5ක්, 6ක්, 7ක් විතර. නැතිනම් ඔවුන් කඩාගෙන වැටෙනවා.
” ඉස්කෝලෙන් ආවට පස්සේ යොවුන් කණ්ඩායමකට වැටුණේ නැතිනම් එයාලට යන එන මං නැති වෙනවා. ක්‍රීඩා සමාජවල ඉන්න බැරි වෙනවා. ඒ නිසා ඒක හොඳටම කරන්න ඕනා.”
කාන්තා කණ්ඩායම පිරිමි කණ්ඩායමට වඩා සාර්ථක ඇයි?
ශ්‍රී ලංකා පිරිමි කණ්ඩායම සමඟ සංසන්දනය කිරීමේදී මෙරට කාන්තා ක්‍රිකට් කණ්ඩායම සාර්ථක වී ඇති බවත්, ඊට හේතුව කණ්ඩායමක් ලෙස ඔවුන් එකමුතුව සිටීම බවත් අලි සබ්රි අමාත්‍යවරයා කීවේය.
‘මගේ වාර්තාවේ මම කියලා තියෙනවා ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරුවන් ක්‍රීඩකයන්ගේ අඩුපාඩු කියනවා කියලා. ඒ වගේම ක්‍රීඩකයන් පුහුණුකරුවන්ගේ අඩුපාඩු කියනවා කියලා. කිසිම සමගියක් නෑ. ඒ වාර්තාවේම මම කියනවා අපේ කාන්තා ක්‍රිකට් කණ්ඩායම ඊට හාත්පසින්ම වෙනස් කියලා. ඔවුන් ඉතාම එකමුතුයි. පුහුණුකරු රුමේෂ් රත්නායක මහතා කෙරෙහි විශාල ගෞරවයක් ක්‍රීඩිකාවන් තුළ තිබෙනවා. හැමෝම කතා කරන්නේ එකම කණ්ඩායමක් විදිහටයි. පැහැදිලිවම ඔවුන් දිනනවා. අපේ පිරිමි කණ්ඩායම විසිවෙනවා. ”
අරවින්ද – මුරලි – සංගා – මහෙල ගේ වාර්තාව ක්‍රියාත්මක කළ යුතුයි
“ඒ වගේම දේශීය ක්‍රිකට් ව්‍යුහයත් වෙනස් වෙන්න ඕන. මොකද දැන් ‘ඒ’ කොටස හා ‘බී’කොටස දෙකම එකට එකතු කරලයි තරගාවලි තියන්නේ. ඒ නිසා ප්‍රමිතිය අඩු වෙලා තියෙනවා. ඒ මැච්වල ගහලා එළියට ගියාම ප්‍රමිතිය සම්පූර්ණයෙන්ම වෙනස්. ඒ නිසා මම හිතනවා කොහොමද ක්‍රිකට් දියුණු කරන්නේ කියලා.
මා විශ්වාස කරනවා අරවින්ද ද සිල්වා, මුත්තයියා මුරලිදරන්, කුමාර් සංගක්කාර හා මහේල ජයවර්ධන එකතු වෙලා ඉදිරිපත් කරපු වාර්තාව ගැන අවධානය යොමු කරන්න ඕන කියලා. ඒක හොඳ වාර්තාවක්.
අපි යෝජනා කරලා තියෙනවා ඒ වාර්තාවත් අරගෙන තවත් පිරිසක් එකතු කරගෙන සාකච්ඡා කරලා සමාලෝචනය කරලා ඒක ක්‍රියාත්මක කරන්න කියලා. මොකද ඒ අය අතුරින් තුන්දෙනෙක් වගේ අයිපීඑල් කණ්ඩායම්වල පුහුණුකරුවන් හැටියටත් ඉන්න අය. ඉතින් එයාලාගේ දැනුම අරගෙන ඒක කරන්න පුළුවනි. ඇයි අපි ඒවා ගන්නේ නැත්තේ ? .
මේ වෙලාවේ අනිවාර්යයෙන්ම මේ වගේ වෙනස්කම් කළ යුතුයි. මේක නිකම් ක්‍රිකට්වලට වඩා තමන්ගේ ආධිපත්‍යය ව්‍යාප්ත කරපු කිහිපදෙනෙක් හැමදාම ඕක අල්ලගෙන සම්පත් භුක්ති විඳීමේ ක්‍රමවේදයක් තමයි දැන් සිද්ධ වෙන්නේ.”
ක්‍රිකට් නීතිය හදන හැටි
‘අපි අපේ නිර්දේශ තුළින් කරුණු කිහිපයක් ඉදිරිපත් කරලා තියෙනවා. ඒකේ සඳහන් වෙනවා 2018 ඉඳලා විගණකාධිපතිවරයාගේ වාර්තා තුනක්. ඒ වාර්තාවල කියලා තියෙනවා එකක් ශ්‍රී ලංකා ක්‍රිකට්වලින් අමෙරිකාවේ ගිණුමකට ඩොලර් ලක්ෂයක් ට්‍රාන්සර් වෙලා තියෙනවා කියලා. ඒකට විමර්ශනයක් කරන්න ඕනය කියලා. ඒක අපි කියලා තියෙනවා. ඒත් තවමත් ඒක කරලා නෑ. ”
“ඒ වගේම අපි කියලා තියෙනවා නිර්දේශ අනුගමනය කරන්න කියලා. ඒකේ ප්‍රතිඵලයක් හැටියට තමයි චිත්රසිරි කමිටුවට දාලා අලුත් ව්‍යවස්ථාවක් හදන්න කිව්වේ. මොකද ක්‍රිකට් ආයතනයෙන් කවදාවත් ඒක හදන්නේ නෑ. ඒ නිසා අපි පාර්ලිමේන්තුවට දාලා නීතියක් ගේන්න ඕනා.
ක්‍රිකට් ආයතනයට අත තියන්නේ මෙහෙමයි
ඊට පස්සේ අපි උත්සාහ කරන්නේ ක්‍රිකට් ආයතනයේ ඡන්ද ප්‍රමාණය සීමා කරලා ක්‍රිකට් කමිටුව 18 දෙනකුට සීමා කරන්නයි. 9 දෙනෙක් විවිධ ක්ෂේත්රවලින් දක්ෂ අය තෝරා ගන්න. නීතියෙන්. මූල්‍යමය කටයුතු, පරිපාලනයෙන් දක්ෂ අය. ඒ 9න් පහක් හිටපු ක්‍රිකට් ක්‍රීඩකයන් විය යුතු වීම. සහ ක්‍රීඩා සමාජවලින් තවත් 9 දෙනෙක්. එතකොට සමතුලිත බවක් තියෙනවා. මේ 18 දෙනා තෝරාගෙන ඒ අතුරින් සභාපතිවරයෙක් තෝරාගෙන තමයි මේක කරන්න ඕනා.
හැබැයි එයාලා ප්‍රතිපත්තිමය තීරණ විතරයි ගන්න ඕන. එදිනෙදා මේක මෙහෙයවන එක අර සමාගමක වගේ ප්‍රධාන විධායක නිලධාරියෙක් පත් කරන්න ඕන. ඒකට දක්ෂයෙක් පුවත්පත් දැන්වීම් දාලා තෝරාගන්න පුළුවනි. ඔස්ට්‍රේලියාවේ, ඉන්දියාවේ කරනවා වගේ. ඒක හොඳ ක්‍රමයක්. ඒක ක්‍රියාත්මක කරන්න පුළුවන් වුණොත් මම හිතනවා අපේ ක්‍රිකට්වලට හොඳ පදනමක් දමන්න පුළුවන් වෙයි කියලා.
තීන්දු ක්‍රියාත්මක කරන්න ඕන ක්‍රීඩා ඇමති
අමාත්‍ය අලි සබ්රි කියන්නේ ක්‍රිකට් අර්බුදය සොයා බැලීමට පත් කළ ක්‍රිකට් අනුකමිටුවේ නිර්දේශ සහ චිත්රසිරි වාර්තාව කෙසේ වුවද එම තීන්දු තීරණ ක්‍රියාත්මක කළ යුතු වන්නේ ක්‍රීඩා අමාත්‍යවරයා බවය.
‘මෙහෙමයි අමාත්‍යාංශය තියෙන්නේ ක්‍රීඩා ඇමැතිවරයා යටතේ. අපිට පුළුවනි මේවා එතුමාට දෙන්න. එතුමා තමයි ඒක ක්‍රියාත්මක කරන්න ඕන. අපි දිගින් දිගටම ඒක කියනවා. වැඩි කාලයක් යන්නේ නෑ. මොකද මේ නිර්දේශ හදපු කමිටුවේ හිටියා නීතිපති දෙපාර්තමේන්තුවේ සාමාජිකයෙක් හා නීති සම්පාදන දෙපාර්තමේන්තුවේ සාමාජිකයෙක්. ඒ නිසා වැඩි කාලයක් ගත වෙන එකක් නෑ. අනික අලුතින් කියලා තව ලොකු දෙයක් කරන්නත් නෑ. අපි ඔක්කොම එකතු වෙලා ගැසට් කරලා සති තුනකින්, මාස දෙකකින් විතර පුළුවන් වෙයි අලුත් නීතිය හදාගන්න දැන්ම ක්‍රියාත්මක වුණොත්.
අපිට පුළුවනි වාර්තාවක් දෙන්න, නිර්දේශ ඉදිරිපත් කරන්න පුළුවනි ක්‍රීඩා ලේකම්තුමාට. ඊට පස්සේ ක්‍රියාත්මක කරනවද නැද්ද කියන එක මම දන්නේ නෑ. අපි ඒක බලන්න ඕනා.” ඒ සම්බන්ධව නම් අමාත්‍යවරයාට ඇත්තේ දෙගිඩියාවකි.
සම්පත් පාවිච්චි කරලා නෙමෙයි.. අපයෝජනය කරලා
‘වෙලා තියෙන්නේ මේක සම්පූර්ණයෙන්ම මේගොල්ලෝ සම්පත් පාවිච්චි කරලා අපයෝජනය කරලා තමන්ගේ පෞද්ගලික බූදලයක් වගේ. ඒකට අවශ්‍ය මිනිස්සු ටික තෝරාගන්න එක තමයි කරන්නේ. ඉතින් ඒක දිගටම කරන්න බෑ. මේක ජාතික සම්පතක්. ක්‍රිකට් බෝඩ් එකේ තියෙන වැය ශීර්ෂයෙන් නෙවෙයි ක්‍රිකට්වල සාර්ථකත්වය බලන්න ඕන. නැතිනම් තරගාවලි කීයක් තිබ්බද කියන එකෙන් නෙවෙයි. එහෙම නම් ඉතින් ඉවෙන්ට් කොම්පැනියක් හරි ෆිනෑන්ස් කොම්පැනියක් හරි දාගන්න ඕන.
ක්‍රිකට්වලින් ලංකාවට ගෙනාවේ ආස්වාදයක්. ආත්ම තෘප්තියක්. අභිමානයක්. පිටරට ඉන්න ශ්‍රී ලාංකිකයෝ පවා ඒකට ආදරය කරනවා. ඒක තමයි එයාලාට ලංකාවත් එක්ක තියෙන බැඳීම. ඒක විනාශ කරන්න දෙන්න බෑ කිහිපදෙනකුට.”
අයි.සී.සී ය ඉඩ දෙයි ද?
අලි සබ්රි අමාත්‍යවරයා එසේ කීවද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය බැඳී සිටින්නේ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය සමඟය. ඔවුන්ට මුදල් ආයෝජනය සිදුවන්නේ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය හරහාය.
“ක්‍රිකට් ආයතනය කියන්නේ මහජන ආයතනයක්. ඒක මුදල් දාලා ආයෝජනය කරලා එගොල්ලෝ හදපු ප්‍රයිවට් කොම්පැනියක් නෙවෙයි. ඒක ආණ්ඩුවේ ආයතනයක් වෙන්නේ ආණ්ඩුවේ පාසල් තියෙන නිසයි. ඒවායේ දරුවන් ක්‍රිකට් ගහලා තමයි මෙගොල්ලන්ට අයිසීසී එකේ සාමාජිකත්වය ලැබිලා තියෙන්නේ. නැතුව මේගොල්ලෝ එයාලගේ ප්රාග්ධනය යොදවලා හදාගත්තු සමාගමක් නෙවෙයි මේක. ඒ නිසා ඒ කතාව සම්පූර්ණයෙන්ම වැරදියි. ආණ්ඩුව කෙසේ වෙතත් මේක මේ රටේ ජනතාවට අයිති දෙයක්. ඒ හින්දා රටේ ජනතාවට වගකියන්න ඕනා කාට වග නොකිව්වත්.
ඒ නිසා එයාලට ඒක ‘රන්’ කරන්න බෑ එයාලට වුවමනා විදිහට. ඒක පොදුවේ රටේ සාමාන්‍ය නීතියට යටත් වෙන්න ඕනා. ඕනෑවට වඩා අයිසීසීයට බයවෙලා මේ වැඩේ කරන්න බෑ. අනික මම හිතන්නේ නෑ අයිසීසීයෙන් බලපෑම් එයි කියලා. මොකද ලෝධා කමිටුව ක්‍රියාත්මක කළේ ඉන්දියාවෙන්. ඒක ඒ රටේ ආණ්ඩුව ගත්තු තීරණයක්. දකුණු අප්රිකාවෙත් ඒක සිද්ධ වුණා. පාකිස්තානයේ අගමැතිතුමා තමයි ඒ රටේ ක්‍රිකට් සභාපති පත් කරන්නේ. ඒත් අපි එතැනට යන්න හොඳ නෑ.
අපි යෝජනා කරලා තියෙන දේවල් ඉතාමත් පැහැදිලියි. මොකද ප්‍රශ්නයක් ඇති වුණා කියලා ඒක ව්‍යාපාරිකයන්ගෙන් මුදාගෙන දේශපාලනඥයන්ගේ ග්‍රහණයට දෙන්න බෑ. අපි යෝජනා කරන්නේ 9 දෙනා තෝරන එක ස්වාධීන පුද්ගලයන්ගෙන් යුතු වෙනම තේරීම් කමිටුවකින් කරන්න ඕන කියලයි. ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපතිතුමා, ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලයේ සභාපතිතුමා, වරලත් ගණකාධිකාරී ආයතනයේ සභාපතිතුමා හා සිමා ආයතනයේ සභාපතිතුමා ඇතුළු ප්‍රායෝගිකව ස්වාධීනයි කියලා අපි හිතන පුද්ගලයන් පස්දෙනකුගෙන් යුතු කණ්ඩායමක් අපි තෝරනවා. ඔවුන් තමයි නාමයෝජනා කමිටුව වෙන්නේ. ඔවුන්ට තමයි මේ අපේක්ෂක ලැයිස්තුව එන්නේ මේ 9 දෙනා තෝරාගන්න
.ඒ ලැයිස්තුව කෙටි ලැයිස්තුගත කරලා ඒ අතුරින් 9 දෙනෙක් තෝරා ගනීවි. එතැනින් 9යි. ක්‍රීඩා සමාජ අතුරින් 9යි. එතකොට බැලන්ස් එකක් තියෙනවා. හිටපු ක්‍රීඩකයන් 5 දෙනෙකුත් එනවා. ඒ 18 දෙනා එකතු වෙලා හොඳ ප්‍රධාන විධායක නිලධාරියෙක් තෝරා ගනීවි. එයා තමයි ක්‍රිකට් ආයතනයේ එදිනෙදා පරිපාලනය සිදු කළ යුතු වන්නේ. අර කමිටුව ඒ වැඩේ කරන්න ඕන නෑ.
දැන් එහෙම නෙවෙයිනේ. බෝඩ් එක තමයි හැමදේම කරන්නේ. එය වෙනස් විය යුතුයි.