ඡන්දය ඉල්ලන්නට ගිහින් රැකියා අවදානමට පත්  රාජ්‍ය සේවකයන්ට මැතිවරණ කොමිසමෙන් විසඳුමක් !

 

පළාත් පාලන ආයතන ඡන්ද විමසීම වෙනුවෙන් නාමයෝජනා භාර දී අපේක්ෂකත්වයේ සිටින රාජ්‍ය සේවකයින් සඳහා  එම ඡන්ද විමසීම ප්‍රමාද වන කාලය තුළ අදාළ නිළධාරියාගේ මූලික වැටුප පමණක් ගෙවන ලෙස මැතිවරණ කොමිෂන් සභාව විසින් නිර්දේශ කර ඇති අතර එම නිර්දේශයට අදාළ ව කැබිනට් අනුමැතියද ලබා ගන්නා ලෙස මැතිවරණ කොමිසම රාජ්‍ය පරිපාලන පළාත් සභා සහ ස්වදේශ කටයුතු අමාත්‍යංශය වෙත දැනුම් දී ඇත.

පසුගිය මාර්තු වැනිදා ඡන්දය පැවැත්වීමට තිබුණද එය කල් දැමීම හේතුවෙන් මෙම රාජ්‍ය සේවකයන්ට ජීවත් වීමට අවශ්‍ය වැටුප් නොලැබෙන බැවින් ඔවුන් යළි සේවයේ පිහිටුවන ලෙස කරන ලද ඉල්ලීම්වලට ප්‍රතිචාර ලෙස මැතිවරණ කොමිසම පවසන්නේ නීත්‍යනුකූලව මෙම සේවකයන් යළි සේවයේ  පිහිටුවීමට මැතිවරණ කොමිෂන් සභාවට බලයක් නොමැති බවය.

පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සඳහා රජයේ නිළධාරීන් 3000 ක් පමණ නාමයෝජනා භාර දී ඇති අතර ඔවුන් ඒ සඳහා තම සේවා ස්ථාන මඟින් වැටුප් රහිත නිවාඩු අනුමත කරගෙන ඇත. රාජ්‍ය සේවකයින් දේශපාලන පක්ෂ හෝ ස්වාධීන කණ්ඩායම් නියෝජනය කරමින් නාමයෝජනා භාර දුන් පසු අදාළ ඡන්ද විමසීම පවත්වා ප්‍රතිඵල නිකුත් කරන තෙක් වැටුප් රහිත නිවාඩු ලබා ගත යුතු වේ.


එහෙත් 2023 මාර්තු මස 09 වැනිදා පැවැත්වීම නියමිතව තිබූ ඡන්ද විමසීම, 2023 අප්‍රේල් මස 25 දින දක්වා කල් තැබීම හේතුවෙන් දිගු කාලසීමාවක් සඳහා වැටුප් රහිත නිවාඩු ලබාගත් රාජ්‍ය නිළධාරීන් හා ඔවුන්ගේ පවුල්වල ආර්ථික ස්ථාවරත්වය පවත්වා ගැනීම දුෂ්කර වී ඇත. ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 102 ව්‍යවස්ථාව ප්‍රකාරව, ඡන්ද විමසීම අවසන් වන තෙක් ඔවුන් නැවත සේවයේ පිහිටුවීමේ නීතිමය හැකියාවක් ද නොපවතී.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ඒ අනුව, රාජ්‍ය සේවයේ, ඡන්ද අපේක්ෂකයින්ට මූලික වැටුප පමණක් ගෙවීමට මැතිවරණ කොමිෂන් සභාව නිර්දේශ කර තිබේ.

Exit mobile version