“චොකා මල්ලි“ නිදොස් කොට නිදහස්…

පුද්ගල ඝාතන සිද්ධියකට අදාළව මරණීය දණ්ඩනය නියම කර සිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර හෙවත් චොකා මල්ලි    ඇතුළු තිදෙනෙකු සියලුම චෝදනාවලින් නිදොස් කොට නිදහස් කිරීමට අභියාචනාධිකරනය අද (31)නියෝග කළේය.

නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ ආර්. ගුරුසිංහගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ මෙම නඩුව අද (31) කැඳවූ අවස්ථාවේ මෙම නියෝගය නිකුත් විණි.

වර්ෂ 2015 වසරේ පැවති ජනාධිපතිවරණය සමයේ එවක විපක්ෂයේ පොදු අපේක්ෂක වශයෙන් ඉදිරිපත් වූ මෛත්‍රීපාල සිරිසේනගේ කහවත්තේ පැවති දේශපාලන රැලියකට වෙඩි තබා පුද්ගලයකු මරා දමා තවත් පුද්ගලයින් දෙදෙනෙකුට තුවාල සිදුකිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර, සබරගමුව පළාත් සභාවේ හිටපු මන්ත්‍රී නිලන්ත ජයකොඩි සහ කහවත්ත ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති වජිර දර්ශන යන අයට එරෙහිව නීතිපතිවරයා විසින් රත්නපුර මහාධිකරණය හමුවේ නඩු පවරා තිබුණි.

දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව එම චෝදනාවට වරදකරු වූ  ප්‍රේමලාල්  ජයසේකර මන්ත්‍රීවරයා ඇතුළු විත්තිකරුවන් තිදෙනාට  2020 වසරේ ජූලි මස 31 වනදා රත්නපුර මහාධිකරණය මඟින් මරණීය දණ්ඩනය නියම කළේය.

රත්නපුර මහාධිකරණ විනිසුරුවරයා තමන්ට එරෙහිව මරණීය දණ්ඩනය නියම කර ඇති ආකාරය නීතියට පටහැනි බවත් එබැවින් එම තීන්දුව අවලංගු කොට තමන්ව සියලු චෝදනාවලින් නිදොස් කොට නිදහස් කරන ලෙස ඉල්ලමින් ප්‍රේමලාල් ජයසේකර මන්ත්‍රීවරයා ඇතුළු විත්තිකරුවන් තුන්දෙනාම සිය අභියාචනා තුළින් අභියාචනාධිකරණයෙන් ඉල්ලා තිබිණි


එම අභියාචනා පිළිගැනීමෙන් අනතුරුව අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය නිකුත් කරනු ලැබුවේය.

ඒ අනුව පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර, සබරගමුව පළාත් සභාවේ හිටපු මන්ත්‍රී නිලන්ත ජයකොඩි සහ කහවත්ත ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති වජිර දර්ශන යන අය මෙසේ නිදොස් කොට නිදහස් කිරීමට නියෝග කෙරිනි.

තීන්දුව ප්‍රකාශයට පත් කරමින් අභියාචනාධිකරණ විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සඳහන් කළේ මෙම සිද්ධිය වූ අවස්ථාවේ දී විත්තිකරුවන් අත ගිනි අවි තිබූ බවට සහ ඔවුන් විසින් වෙඩි තැබූ බවට සාක්ෂි ඉදිරිපත් වී නොමැති බවය. ඒ අනුව විත්තිකරුවන් අදාල චෝදනාවන් රත්නපුර මහාධිකරණය හමුවේ සාධාරණ සැකයකින් තොරව ඔප්පු වී නොමැති බවද විනිසුරුවරයා පැවසුවේය.

ඒ අනුව විත්තිකරුවන් වරදකරුවන් කරමින් රත්නපුර මහාධිකරණය විසින් ප්‍රකාශයට පත් කිරීමට යෙදුණු තීන්දුව බල රහිත කරන බව සඳහන් කළ විනිසුරුවරුන් ඒ අනුව විත්තිකරුවන් තුන්දෙනා නිදොස් කොට නිදහස් කළ ලෙසත් නියෝග කරනු ලැබුවේය.

.

 

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


.

Exit mobile version