චීන කුණු පොහොර ගනුදෙනුවේ විගණන වාර්තාව එළියට….

The Auditor General recommends legal action against those involved and the blacklisting of the Chinese supplier.

Hippop-Street

චීන පොහොර ගනුදෙනුවේ දී    රජයට රුපියල් එකසිය තිස් අට කෝටි විසි ලක්ෂයක්  පාඩු වී ඇති බව හෙළි කරන විගණකාධිපතිවරයා අදාල ගනුදෙනුවට සම්බන්ධ සියලු දෙනාට නඩු පවරා එම පාඩුව පියවා ගෙන ආන්දෝලනාත්මක චීන කින්ඩාවෝ සීවින් බයෝටෙක් සමාගම ලංකාව තුළ අසාදුලේඛනගත කරන්නැයි  නිර්දේශ කර තිබේ. 

පසුගිය මහ කන්නයේ මෙරටට කාබනික පොහොර මෙට්‍රික් ටොන් 96,000ක් චීනයේ කින්ඩාඕ සමාගමෙන් ආනයනය කිරීමේ ආන්දෝලනාත්මක ගනුදෙනුව පිළිබඳ සිදුකළ විශේෂ විගණන වාර්තාව ප්‍රකාශයට පත්  කරමින් විගණකාධිපතිවරයා මෙම නිර්දේශය සිදුකර ඇත.

රසායනික පොහොර රට තුළ තහනම් කිරීමෙන් අනතුරුව කාබනික පොහොර නිශ්පාදනය කරගැනීමට නොහැකි වීම හේතුවෙන් පසුගිය රජය චීනයේ කින්ඩාවෝ සී වින් බයෝටෙක් සමාගමෙන් මෙම කාබනික පොහොර තොගය ආනයනය කිරීමට පියවර ගෙන තිබිණි.

මෙම පොහොර අහිතකර බැක්ටීරියා අඩංගු රටේ ප්‍රමිතියට නොගැලපෙන පොහොර බව රසායනාගාර පරීක්ෂණවලදී තහවුරු වී තිබිය දී   දී කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් පත්කළ ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ සාමාජිකයන්ගෙන් යුතු විශේෂ කාර්ය කමිටුවක් හරහා ලබාදුන් නිර්දේශ මත අදාළ කාබනික පොහොර තොගය ආනයන කිරීමට  ණයවර ලිපි විවෘත කිරීමට රජයේ පොහොර සමාගම් දෙක කටයුතු කර ඇති අයුරු විගණනය වාර්තාව පෙන්වා දෙයි.


අනතුරුව  ටොන් 20,550කින් යුත් චීන කාබනික පොහොර කොළඹ වරායට ගොඩබෑමට උත්සාහ කළ ද එය ශාක නිරෝධායන නීතියට පටහැනි බැවින් මතභේදාත්මක තත්ත්වයක් ඇති වූ අතර ඒ ගනුදෙනුව මුල්කරගෙන කොළඹ වාණිජ මහාධිකරණයේ ගෙන ගිය නඩුකරය සමථයකට පත්වී ඇත්තේ සමස්ත නැවේ පිරිවැයෙන් සියයට 75ක් හෙවත් අමෙරිකානු ඩොලර් මිලියන 6.9ක් ගෙවීමට රජය කටයුතු කිරීම හේතුවෙනි.

ඒ අනුව, රජයට රුපියල් මිලියන 1,382ක පාඩුවක් සිදුකර ඇති බව විගණකාධිපතිවරයා පෙන්වා දෙයි.

අත්තිකාරම් ගෙවීම සිදුකර ඇත්තේ කිසිදු සුරක්ෂිතයකින් තොරව බව එම වාර්තාවේ සඳහන් වේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මෙම ගනුදෙනුවට සම්බන්ධ වගකිවයුත්තන්ට එරෙහිව නඩු පවරා ඔවුන්ගෙන් මුදල් අයකරගන්නා ලෙස නිර්දේශ කරන විගණකාධිපතිවරයා යෝජනා කර සිටින්නේ සැපයුම්කාර සමාගම ශ්‍රී ලංකාවේ නීතිරීතිවලට අනුව සහ ගිවිසුමට අනුව ක්‍රියා නොකිරීම නිසා සැපයුම්කාර සමාගම ශ්‍රී ලංකාව තුළ අසාදු ලේඛනගත කරන ලෙසයි.

 

Exit mobile version