චීන ඔත්තුකාරියක් බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවට රිංගලා

china spy sent to UK parliament

බ්‍රිතාන්‍යයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට බලපෑම් කිරීමට චීන රජය විසින් කාන්තාවක් යොදාගෙන ඇති බවට බ්‍රිතාන්‍ය අභ්‍යන්තර ඔත්තු සේවය වන එම්අයි-5 විසින් අනතුරු අඟවා තිබේ.

ඒ අනුව ක්‍රිස්ටීන් ලී ලෙසින් හඳුනාගෙන ඇති අදාල කාන්තාවගේ ඡායාරූප සහිතව බ්‍රිතාන්‍ය අභ්‍යන්තර ඔත්තු සේවය විසින් අනතුරු ඇඟවීම නිකුත් කර ඇත.

එම්අයි-5 විසින් නිකුත් කළ අනතුරු ඇඟවීම බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ කතානායක වන ලින්ඩ්සී හොයිල් විසින් සියලුම මන්ත්‍රීවරුන්ට දැනුම් දී ඇත.


එහිදී කතානායකවරයා ප්‍රකාශකර ඇත්තේ ඔත්තු සේවය පවසන පරිදි අදාල කාන්තාව විසින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට මුදල් ආධාර ලබාදී ඇති බවයි.

ඇය එලෙස මුදල් ආධාර ලබාදෙමින් මන්ත්‍රීවරුන්, චීනයට පක්ෂපාතීව කටයුතු කිරීමට පෙළඹවීමට උතසාහ කර ඇති බවද කතානායක හොයිල් පවසා තිබේ.

මේ අතර ලී විසින් බ්‍රිතාන්‍ය කම්කරු පක්ෂ මන්ත්‍රී බැරී ගාඩ්නර් හටද බ්‍රිතාන්‍ය පවුම් හාරලක්ෂ විසි දහසකට අධික මුදලක් ලබාදී ඇති බවටද අනාවරණය වේ.

උද්ගතව ඇති තත්ත්වය සම්බන්ධයෙන් බ්‍රිතාන්‍ය අභ්‍යන්තර කටයුතු අමාත්‍යවරිය වන ප්‍රීති පටෙල් මාධ්‍ය වෙත ප්‍රකාශ කර ඇත්තේ අදාල කාන්තාවගේ ක්‍රියාවන් අපරාධ ගණයට නොවැටෙන බැවින් ඇයට එරෙහි නීතිය ක්‍රියාත්මක කළ නොහැකි බවයි.

එහෙත් මන්ත්‍රීවරුන්ට මෙම තත්ත්වය ගැන දැනුම්වත් කරන බවත් සඳහන් කළ අමාත්‍යවරිය එක් කාන්තාවක් විසින් මන්ත්‍රීවරුන් චීනයට හිතවාදීව කටයුතු කිරීමට පෙළඹවීම සම්බන්ධයෙන් ගැඹුරින් සැලකිලිමත් විය යුතු බවද පෙන්වා දී ඇත.

ක්‍රිස්ටීන් ලී නැමති මෙම කාන්තාව ලන්ඩන් නගරයේ නීති උපදේශන ආයතනයක්ද පවත්වාගෙන යන අතර එහි වෙබ් අඩවියට අනුව අදාල ආයතනය ලන්ඩන් හී පිහිටි චීන තානාපති කාර්යාලයේ නීති උපදේශක ලෙසද කටයුතු කරනු ලබයි.

කෙසේවෙතත් චීනය රජය විසින් බ්‍රිතාන්‍ය අභ්‍යන්තර ඔත්තු සේවය නගන චෝදනා ප්‍රතික්ෂේප කර සිටී.

ලන්ඩන් හී චීන තානාපති කාර්යාලය ප්‍රකාශ කර ඇත්තේ එම්අයි-5 සංවිධානය බ්‍රිතාන්‍යයේ සිටින චීන ජාතිකයින්ව අපහසුතාවයට පත්කිරීමට උත්සහ කරන බවයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


නිවේදනයක් නිකුත් කරමින් චීන තානාපති කාර්යාලය ප්‍රකාශ කර ඇත්තේ “චීනය සෑම විටෙකම රටක අභ්‍යන්තර කටයුතුවලට මැදිහත්වීමක් කරන්නේ නැහැ. අපි කිසිම විටෙක විදෙස් රටක පාර්ලිමේන්තුවක් තුල අපිට පක්ෂපාතී කටයුතු කරන්නට කිසිවෙකු පෙළඹවීමක් කර නැහැ. ඒ අනුව මෙම චෝදනා බ්‍රිතන්‍යයේ සිටින චීන ජාතිකයින් අපහසුතාවයට පත්කිරීමක් විදිහට අපි දකිනවා.” යනුවෙනි.

Exit mobile version