චීනය බීබීසියට දොර වැසුවේ එකට-එක කිරීමක් ලෙසද?

බ්‍රිතාන්‍යය සමග කලක් තිස්සේ පැවැති රාජ්‍ය තාන්ත්‍රික මට්ටමේ ආරවුල එකට-එක කිරීමෙන් කළ පළිගැනීමක් බවට චීනය තම රට තුළ බී.බී.සී ලෝක සේවය රූපවාහිනී නාළිකාව විකාශය වීම තහනම් කිරීමෙන් පෙනී යයි.

කෙසේවෙතත් මෙම ක්‍රියාමාර්ගයට හේතුවූ ආසන්නතම හේතුව ලෙස දැකිය හැක්කේ පසුගිය සතියේදී බ්‍රිතාන්‍යයේ විකාශය වෙමින් තිබූ චීන රජයට අයත් ඉංග්‍රීසි භාෂාවෙන් විකාශය වූ සීජීටීඑන් සැටලයිට් රූපවාහිනී නාළිකාවේ බලපත්‍රය අත්හිටුවීමට ගත් තීරණය බව පෙනෙන්නට තිබේ.

එම තහනමට හේතුව ලෙස චීනය පවසන්නේ බීබීසී ලෝක සේවය චීන පුවත් විකාශයේ දී චීනයේ ජාතික අවශ්‍යතා සහ ජනවාර්ගික සහයෝගීතාවට වල කපමින්, ප්‍රවෘත්ති වාර්තා කිරීම සත්‍ය සහ අපක්ෂපාතී නොවන අන්දමින් කටයුතු කළ බවයි.


විශේෂයෙන්ම කොවිඩ්-19 වසංගත තත්ත්වය පිළිබද චෝදනා මෙන්ම චීනයේ වෙසෙන උයිගර්වරුන්ගේ සහ අනෙකුත් ප්‍රධාන වශයෙන්ම මුස්ලිම් ජනවාර්ගික කණ්ඩායම්වල නිවහන වන සින්ජියැන්ග් කලාපයේ බලහත්කාරයෙන් ශ්‍රමය සහ ලිංගික අපයෝජනය සිදුවන බවට චෝදනා එල්ල කරමින් කළ වාර්තා සත්‍යතාවෙන් තොර බවට චීනය, බීබීසීය කළ වැරදි ගොඩට දමමින් පවසා ඇත.

බීබීසීය චීනය තුළ අත්හිටුවීමට පෙරත් පැවතියේ ඉතා සීමාසහිත විකාශන පරාසයක ය. ඊට හේතුව වන්නේ චීනයේ විදේශිකයන් සදහා වෙන් කර ඇති හෝටල්, මහල් නිවාස සංකීර්ණ, ජාත්‍යන්තර සමාගම් ආදියෙහි කේබල් ටීවී ඔස්සේ පමණක් බීබීසීය නැරඹීමට හැකි වනසේ චීන රජය විසින් සීමා කර තිබීමයි.

පසුගිය කාලයේදී බීබීසීය කොරෝනා වසංගතයේ මුල සොයා සිය රට තුළට රිංගීමට ගත් උත්සහය ව්‍යර්ථ කිරීමට චීනය ගත් ක්‍රියාමාර්ගය නිසා බ්‍රිතාන්‍යය තවත් උරණ වූ බවක් පෙනෙන්නට තිබිණ. වසංගතයේ සුලමුල වාර්තා කිරීමට බීබීසීය චීනයට පැමිණීමේදී යහපත් අන්දමින් පිළිගෙන ඒ සදහා අවශ්‍ය ඉඩකඩ සලසා දෙනු වෙනුවට චීනය කර තිබුණේ බීබීසී කණ්ඩායම මාර්ග අවහිර කරමින්, පැය ගණන් මහමග තබමින් රස්තියාදු කිරීමයි.

කෙසේවෙතත් නව තහනම චීනයේ වෙසෙන බීබීසී වාර්තාකරුවන්ට බලපා ඇති ආකාරයක් තවමත් කිසිදු ඉගියකින් අසන්නට දකින්නට නොලැබේ. නමුත් චීනයේ කමියුනිස්ට් රජය පසුගිය වසරේදී ‘ද වොෂිංටන් පෝස්ට්, ද වෝල් සට්‍රීට් ජර්නල් හා ද නිව්යෝර්ක් ටයිම්ස්’හි වාර්තාකරණයේ යෙදුණු විදේ්‍ශීය මාධ්‍යවේදීන් නෙරපා හැරීමට කටයුතු කළේ අමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් පාලනය සමග පැවති ආරවුලේ ප්‍රතිඵලයක් ලෙසයි. එම තත්ත්වය චීනයේ දැනට සිටින බීබීසී මාධ්‍යවේදීන්ට ඉදිරි දිනවලදී අත්වීමට ඉඩකඩ නැතුවා නොවේ.

බ්‍රිතාන්‍ය සන්නිවේදන නියාමකයා වන වොච්ඩෝග් ඔෆ්කොම් පසුගිය 4 වැනිදා චීනයේ සීජීටීඑන් නාළිකා බලපත්‍රය අත්හිටුවන අවස්ථාවේ චීනය කීවේ බ්‍රිතාන්‍ය විසින් දෘෂ්ටිවාදාත්මක නැඹුරුතා මත පදනම් වූ දේශපාලන හේතු මත එම පියවර ගත් බවය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තු ප්‍රකාශක නෙඩ් ප්‍රයිස් පවසන්නේ චීනය තුළ මාධ්‍ය මෙහෙයුම් සීමා කිරීම කනගාටුවට කරුණක් වන අතර බීජිං නායකයින් වැරදි තොරතුරු ප්‍රවර්ධනය කිරීම සඳහා විදේශයන්හි නිදහස් හා විවෘත මාධ්‍ය පරිසරයන් භාවිතා කරන බවය. එහි ජනතාවට ජනමාධ්‍යයට සහ අන්තර්ජාලයට නොමිලේ ප්‍රවේශ වීමට ඉඩ දෙන ලෙස ප්‍රයිස් විසින් චීන රජයෙන් ඉල්ලා සිටියේය.

Exit mobile version